Friday, November 29, 2013

සිඟිතිගේ ආදරේ - 4 කොටස


http://cache.desktopnexus.com/thumbnails/902475-bigthumbnail.jpg

එදා නවත්තපු තැනින් පටන්ගමුකො.

ඊලග දවසෙ නැගිටල පිලිවෙලකට ලෑස්ති වෙලා ඔන්න මං එලියට බැස්සා.  පිලිවෙලකට කිව්වට ඉතිං සුපුරුදු ඩෙනිමයි ටී ෂර්ට් එකයි තමා.  බොරුවට නිකං රගපාන්නෙ මොනවට ද?  අනික මාව නොදන්න කෙනෙකුත් නෙවෙයිනෙ.  කතා කරගත්ත විදියට යාළුව නුවර බස් නවත්තන තැනට ඇවිත් හිටිය.

ඔන්න දැං ඊලග ප්‍රශ්නෙ.  කතා කරන්න යන්නෙ කොහාටද?  කලිනුත් මං කියල තියනවනෙ කෑගල්ලෙ නං එහෙම නිවී සැනසිල්ලෙ කතා කරන්න තැනක් නෑ.  මං එහෙම තැනක් ගැන දැනං හිටියෙත් නෑ.  ටික වෙලාවක් කල්පනා කර කර හිටපු යාළුව කිව්ව අපි නැව්ගල යං කියල.  නැව්ගල කියන්නෙ කෑගල්ල පහු කරල කොලඹ පැත්තට යද්දි අතරමග හම්බවෙන පන්සලක්.  ප්‍රධානපාරෙන් තරමක් ඇතුලට යන්න තියනව.  හැබැයි මං කවදාවත් ගිහිං නෑ.  කෙනාවත් විශ්වාසයි සහ තැනත් පන්සලක් නිසා මාත් හා කියල අපි දෙන්න අවිස්සාවේල්ල බස් එකක නැගල නැව්ගලට පිටත් වුනා.

බස් එකේ යන ගමන් අක්ක මට කියපු රහසත් යාළුවත් එක්ක කිවුව.

ඔහොම විස්තර කතා කර කර අපි නැව්ගලට ගියා.  ප්‍රධාන පාරෙන් හැරිල නැව්ගලට යන අතුරු පාර තියෙන්නෙ රබර් වත්තක් මැදින්.  පේන දුරින් ගෙවල් තියන නිසා වත්ත පාළු නෑ.  පන්සලට කලිං හම්බවෙන්නෙ මෙහෙණි ආශ්‍රමය.  ඊට පස්සෙ කන්දෙ පිහිටීමට හදපු පන්සල.  කන්දෙ තැනින් තැන භාවනා කුටිත් තියනව.  මුදුනටම වෙන්න වගේ තමයි බුදු මැදුරයි, චෛත්‍යයි, බෝධියයි තියෙන්නෙ.

අපි පන්සලට යනකොට සිල් ගන්න ඇවිත් හිටිය එකම එක සීය කෙනෙක්.  උඩහට යද්දි හාමුදුරුවොත් හම්බුනා.  අපි ගියාට පස්සෙ හාමුදුරුවො වහල තිබුන බුදු මැදුරත් ඇරිය.  සීයත් එක්ක බුද්ධ පූජාව තියන්න හදද්දි තමයි අපිත් එතනට ගිහිං තිබුනෙ.  බුද්ධ පූජාවට අපිත් සහභාගි වුනා.  ඒක ඉවර වෙලා හාමුදුරුවො සීයත් එක්ක පල්ලම් බැස්ස.  අපි දෙන්න බුදු මැදුර ලග නැවතුනා.  බුදු මැදුරට එහා පැත්තෙ තියෙන්නෙ නා ගහක් එක්ක ගල් තලාවක්.  අපි දෙන්න ඔය ගල් තලාවෙ තමයි ඉද ගත්තෙ.

නා ගහ යට ගල් තලාවෙ ඉදගෙන කතා කරද්දි ඔන්න මං මගේ කැමැත්තත් දුන්න.  ඒ ගැන නං කියන්නෙ ඔච්චරම තමයි.

ඊට පස්සෙ තවත් ටික වෙලාවක් එතන ඉදගෙන කතා කර කර ඉද්දි හාමුදුරුවො ආවාස ගෙට වැඩිය.  ඒගමන් මෙන්න මේ දෙන්නටත් දානෙන් ටිකක් කියල පුංචි කවරයක් දුන්න.  කෙසෙල් ගෙඩියි, බිස්කටුයි, කැවුම් වගේකුයි තමා තිබුනෙ.  හාමුදුරුවන්ටත් ස්තූති කරල ගල් තලාවෙම ඉදගෙන දානෙත් කාල ටික වෙලාවකින් බොහොම සතුටින් අපි පන්සලෙන් පිටත් වුනා.

ඔන්න ඔය විදියට තමයි සිගිතිගෙ ආදරේ 2007 මාර්තු මාසෙන් පටන් ගත්තෙ.

ගෙවල් වලින් දැනගන්නකං අපි දෙන්නට තිබුනෙ එසේ මෙසේ පන්ති තොගයක් නෙමේ.  මං ගියපු කම්පියුටර් පන්තිය දවස් පහේම තියන්න පටන් ගත්තනෙ.  ඒ දවස්වල වෙන්ඩ හබි වෙච්ච මගේ මහත්තයටත් ජිම් එකේ වැඩ කටයුතු බහුල වෙලා ඉතුරු දවස් ටිකේම පන්ති වැටුන.  පේරාදෙණි පැත්තෙයි කුරුණෑගල පැත්තෙයි වැටිච්ච ඔය පන්ති තොගේ අන්තිමේට එකපාරටම අපි දෙන්න ලංකාවෙ බොහොම දුර බැහැර තැන් දෙකකට අධ්‍යාපන කටයුතු සදහා පිටත් වීමෙන් දුකින් වුනත් නවත්තල දාන්න වුනා.

ඊලග කොටසත් සමග ආයෙත් හමුවෙමු.

Saturday, November 23, 2013

සිඟිතිගේ ආදරේ - 3 කොටස

නොබලපු අය ඉන්නවනං මෙන්න තියනව
පළමු කොටස
දෙවන කොටස

ඉතිං ඔන්න ගෙදර කට්ටිය නං ෂේප්  වුනා.  ඒ වුනාට මං...



මට හිතට සෑහෙන්න අවුල්.  යාළුව තමයි මගේ ජීවිතේට මට හිටපු එකම පිරිමි යාළුවා.  ගියෙත් කාන්තා පාසලකට වගේම ටියුෂන් වලදිවත් මට කවදාවත් පිරිමි යාළුවො සෙට් වෙලා නෑ.  යාළුකමටත් වඩා ඔන්න ඉතිං ඇත්තම කිව්වොත් හිතේ හිටපු සිහින කුමාරයාම තමයි. රූපයෙන් වගේම ගතිගුණවලිනුත් මං බලාපොරොත්තු වුන විදියේම කෙනෙක්. 

ඒත් ඉතිං අම්මල කවදාවත් කැමති වෙන්නෙත් නෑනෙ.  ඔහොම හිත හිත මං ඇදට වෙලා හිටිය.  ඔන්න එතකොට මගේ ජංගම දුකට එනව බොහොම දුක්බර මැසේජ් එකක්... යාළුවගෙන්.

එයා ජීවිතේ පළවෙනි වතාවට ආදරේ කරපු එයාගෙ සිහින කුමාරි එයාට කැමති නෑ කිව්වා. ඇයි ඒ කියල.  ඕක කියවල මට ඇඩෙන්න වගේ.  ඒත් මක් කරන්නද... දැං මට බයයි ඊලගට අපේ අක්ක මං එහෙ මෙහෙ වෙනකං ඉදල මේව කියවයි කියල.  ඉතිං කියෙව්වට පස්සෙ මං ඒක මැකුව.  ඊට පස්සෙ හිත හදන්න පුළුවන් උත්සාහ දාලා මැසේජ් එකක් ලියල යැව්ව.  ඔන්න ටිකකින් තවත් එකක් ආව.  අර වගේම දුක පිරිච්ච එකක්.  ඒකත් බයටම කියවල මකල දැම්ම.

මං ගාව එයා මට ඉස්ඉස්සෙල්ලම එවපු හායි කොහොමද කියන පළවෙනිම යාළු මැසේජ් එකේ සිට ඒ දක්වාම එවපු සියලුම මැසේජ් ලියපු පොතක් තිබුන.  අදටත් තියනව.  කපල් සිම් ගන්නකංම එවපු සියලුම මැසේජ් ඒකෙ තිබුනට මෙන්න මේ කියන මැසේජ් දෙක විතරයි නැත්තෙ.

ඔහොම ඉතිං දුකසේ  ඇදට වෙලා ඉද්දි කවියකුත් ලිව්ව.  ඒක නං කලිං පෝස්ට් එකක දාල තියනව.  බලල නැත්තං මෙන්න

ඔය විදියට හිතේ පුදුම දුකකින් එදා දවස ගත වුනා.  අදටත් මම එදා හවස් වරුව මතක් කරද්දි හිතේ ඇදෙන්නෙ අදුරු තැඹිලි පාට පරිසරයක්.  ඊට පස්සෙ දවසමත් අර වගේ අදුරු පාටින් කිසි විශේෂයක් නැතුව ගත වුනා.
හවසට අපේ අක්ක ගෙදර ආවම අපි දෙන්නම ඕපයක් හලාගෙන ඇදට වෙලා ඉන්නව හිමීට කුටු කුටු ගගා.  ඒ වගේ වෙලාවට තමයි අපේ අම්මයි තාත්තයි කුටු කුටු ගාන රාජ්‍ය රහස් බෙදා හදා ගන්නෙ. ඔන්න එදත් අපි දෙන්න ඇදට වෙලා කුටු කුටු ගාද්දි එයා මට ලොකූ... රහසක් කිව්ව.  ඒකත් අර වගේ රාජ්‍ය රහසක්.

අපේ අම්මගෙ අක්කගෙ ඒ කියන්නෙ ලොකු අම්මගෙ ගෙවල් ලගපාත හිටිය රංගන කියල අයිය කෙනෙක්.  එහෙ අක්කත් එක්ක හරිම ෆිට්.  ඒ ෆිට් එක නිසාම අපි එහෙ ගියාම අපිත් එක්කත් මනුස්සය සෙට්.  ඔය මනුස්සය ඒ ලගපාත ගාමන්ට් එකක ග්‍රැෆික් ඩිසයිනින් කලේ.  ඒ වගේම ජාවා ඉගෙන ගන්න පන්ති ගියා ඒ දවස්වල.  මටත් පුදුමාකාර කම්පියුටර් උණක් මතක ඇති කාලෙක ඉදන් තිබුනයින් ඔය අයියත් එක්ක මාත් හොදට කතා කලා.  එහෙ ගියාම කතා කරනව ඇරෙන්න වෙන කිසි සම්බන්ධයක් අපි දෙන්න අතර නෑ.  හැබැයි ඒකා අපේ අක්කත් එක්ක නං එහෙ අක්කත් එක්ක වගේම ෆිට්.  කෝල් පවා දෙනව.

ඔන්න ඔය මෑන් ගැන අපේ අම්මට මං සම්බන්ධයෙන් විවාහ යෝජනාවක් පහල වෙලා. ඒක තමයි රහස.  අම්මයි තාත්තයි කතා වෙලා අක්කගෙනුත් අහල.  අක්කනං කියල තියනව මං නං කීයටවත් ඒකාට කැමති නොවන විත්තිය.

ඔය රහස ඇහුවම මට උපරිම කේන්තියි.  ඇයි වදේ අම්මල අකමැති වෙයි කියල අච්චර අර රත්තරං ටිකට ඉන්න කොල්ලෙකුටත් මං බෑ කිව්ව.  ඒ වුනත් කවදාවත් තුන් හිතකින්වත් නොහිතපු මේ හූනු පැටියෙක්ව මට සෙට් කරන්න යයි කියල මට හිතුනෙ නෑ.  ඇත්තටම රංගන අයියව දැක්කම මට මතක් වෙන්නෙ හූනෙක්ව.
රංගනයව මට සෙට් කරන්න අම්මට පිස්සුද අනේ.. අක්කත් එක්ක මං කිව්ව.
ඔයාගෙන ඇහුවම කැමති නෑ කියන්න.  බලෙන් බන්දන්නෙ නෑනෙ.  අහනකං දන්නෙ නැති ගානට ඉන්නව හරිද.. අක්ක කිව්වම අහපුදෙංකො මගෙනුත් කියල මං හිතා ගත්ත.

අවුලෙන් හිටපු මං මේ කතාව අහල තවත් අවුල්.  ඔය අතරෙ ඉතිං යාළුවත් දුකින් දුකින් මැසේජ් කීපයක්ම එව්ව.  මාත් රිප්ලයි යැව්ව.  එහෙමත් හරි යන්නෙ නැති පාර තමයි මං ලියල යැව්වෙ මෙහෙම ඉන්න බෑ අපි හම්බවෙලා කතා කරමු කියල.
ඒ පාර ඔන්න සිකුරාදාට යාළුව එන්නං කීව මාව හම්බෙන්න.


එදා රෑ තිස්සෙම මං කල්පනා කරා මේ ඔක්කොම ගැන.  හිතේ ඇදිල තිබුන රූපෙයි, හිත කැමතිම ගතිගුණයි තියන මාව හොදට තේරුං ගත්ත මට ආදරෙත් කරන කෙනෙක් එපා කියල අම්මල කැමති කෙනෙක් කවදහරි කසාද බැදල ඒ මනුස්සය මාව හරියට තේරුං නොගත්තොත් මොකක් වෙයිද කියල හිතුව.  මං ජීවිත කාලෙම අද දවස ගැන පසු තැවෙයි නේද කියල මට අන්තිමේට තේරුනා.

ඊට පස්සෙ තමයි මං ජීවිතේ වැදගත්ම තීරණේ අරගත්තෙ.

ඕන දෙයක් වුනාවෙ.  මං එයාට කැමති වෙනව.  එහෙම හිතල මං නිදා ගත්ත.

ඊලග දවසම ගත වුනේ ගත්ත තීරණේ ගුණ දොස් විචාරයට.  අක්කට ඇත්ත කියනවද නැද්ද කියලත් ගොඩාක් හිතුව.  හිතල හිතල තීරණය කලා නොකිය ඉන්න.  හැමදාම එයා මං හින්ද බැනුං අහනවනෙ.  ඒක නිසා එයාට නොකිය හිටියොත් එයාට කවදහරි කියන්න පුළුවං එයා දැනං හිටියෙත් නෑ කියල.  ඊට පස්සෙ දවසම ගත වුනේ මගේ කාමරේ අස් කරන්න.  ඒක සාමාන්‍ය‍යෙන් පිලිවෙලට තියෙන්නෙ ඉතාමත් සීමිත කාලයක්.  ඉතිං හෙට ඉදන් තනිකඩ ජීවිතේ ඉවර වෙද්දි කාමරෙත් පිලිවෙලක් කරගන්න එපැයි කියල හිතල මයි කාමරේ අස් කෙරුවෙ.  යාළුවටත් ඒ ගමන් මැසේජ් එකක් යැව්ව හෙට ඉදන් කාමරේ නවතින්න කෙනෙක් එන නිසා කාමරේ අස් කරනව කියල. ;)
එයා කවුද ඇහුවම හෙට කියන්නං කියලත් යැව්ව.

මොනව උනත් මේකෙන් ටිකක් හරි අක්කට නොකිය බෑ බෑ වගේ නිසා මං එදා හවස අක්ක ආවම එයත් එක්ක කිවුව යාළුවට මාව හම්බ වෙන්න ඕන කියනව කියල.  බළලා මල්ලෙන් පනින්න යන්නෙ කියල ඒ පාර අක්ක හිනා වුනා.  මාත් ආ බලමුකො කිව්ව.

ගෙදරින් එලියට පනින්න හේතුවකුත් එපායැ.  මේ පාර මං කිව්වෙ ඉස්කෝලෙට යනව කියල.  අපි වගේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවන්ට නිතර අනං මනං වලට ඉස්කෝලෙ ගුරුවරු සහ පොඩි එවුන් අඩ ගහන නිසා බොරුව මාට්ටු වෙන්නෙ නෑ.  යාළුවෙක්ගෙ ගෙදර යනව කියල අම්ම එහෙට කෝල් කලොත් බඩු බනිස්.  ඒක නිසා ඉස්කෝලෙ යනව කියන එක සෞඛ්‍යාරක්ෂිතයි.  ඉස්කෝලෙ ඩ්‍රාමා ප්‍රැක්ටිස් එකකට එන්න කිව්ව කියල ප්‍රසිද්ධියට පත් කරල එදා රෑ මං නිදා ගන්න ගියා.

වැඩිහිටියන් සහ පොඩිහිටියන්ගේ ඉල්ලීම පරිදි පෝස්ටුව දිගට ලියන ලද අතර කම්කරු ජනතාව සමාව භජනය කරත්වා!!! :D

සිඟිතිගේ ආදරේ තවත් කොටසක් සමගින් හමුවෙමු....

Thursday, November 21, 2013

සිඟිතිගේ ආදරේ - 2 කොටස

කියපු විදියටම ඔන්න මං සිඟිතිගේ ආදරේ ඊලඟ කොටසත් අරන් ආව.  මුල් කොටස බැලුවෙ නැත්තං මෙතන කොටන්නකො.



මං බලාපොරොත්තු වුන දේම යාළුව කිව්වට මොකද ඉතිං ඒක ඇහුවම නං මං ඉතිං සීතල වෙලා ගියා.
බෑ.. ඒක වෙන්නෙ නැති දෙයක්.
මං එහෙම කිව්වම එයා ඇහුව ඇයි එහෙම කියන්නෙ කියල.
ආගම... ඔයා දන්නවනෙ අපේ අම්මලගෙ හැටි.  මං කිව්ව.
යාළුව බෞද්ධ වුනාට අපේ අම්මයි තාත්තයි කතෝලික. ඒ මදිවට ඒ දෙන්න යාළු වෙලා තමයි බැදල තියෙන්නෙත්.  අපේ තාත්තටත් වඩා අම්ම ගොඩක් කතෝලික සහකරුවෙක් පිලිබද දැඩි මතයක හිටපු කෙනෙක්.  ඉතිං මං කොච්චර කැමති වුනත් මේ වැඩේ ගෙදර යුද්ධෙකට මග පාදනව කියල මං හොදටම දැනං හිටිය.

ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නෑ නේද?  අපේ යාළුකම නැති වෙන්නෙත් නෑ නේද?  යාළුව මගෙන් ඇහුව.
නෑ අපි හොද යාළුවො වගේ ඉමු.  මං ඔයත් එක්ක තරහ නෑ.  අමාරුවෙන් උනත් හිනා වෙලා මං කිව්වෙ යාළුවගෙ හිත හදන්න.
ඔයා දැං ගෙදර යනවද?
නෑ මං හර්ෂණීලගෙ ගෙදරත් ගිහිංම තමයි යන්නෙ.
යං.  මං ඔයාව එහාට ගෙනියල දාන්නං.
එපා ඕන නෑ.  මං යන්නං.
එහෙම කිව්වට ගොඩක් දුර යනකං මාත් එක්ක යාළුව තනියට ආව.

මං එහෙනං යන්නං...  මං එහෙම කියල හර්ෂණීලගෙ ගෙදර ගියා.

ඔන්න හර්ෂණීලගෙ ගෙදර ගිහිං ඒ වැඩෙත් කරල, තරමක විස්තරයක් සිද්ධිය ගැනත් කියල මං ගෙදර ගියා.
ඒ ගෙදර යන අතරමගදිත් අක්ක මට වෝනින් එවනව.  ඉක්මනට ගෙදර වරෙන් කියල.  අක්ක කිව්ව විදියට ගෙදර තුන්වෙනි ලෝක යුද්දෙට සූදානම් වෙලා මං ගෙදරට ගොඩ වුනා.

ම්හු... කිව්ව විදියෙ යුද්ධයක් තියා ඉතුරු වෙච්ච ආයුධ කෑල්ලක්වත් පේන්න නෑ..  ගෙදර පරිසරය සාමාන්‍යයි.  සාමාන්‍ය ආකාරයටම මාත් ඉතිං කාමරේට ගියා.  ටිකකින් අක්ක ආව කාමරේට.

ඇයි මොකද වුනේ?  මං ඇහුව.
තමුසෙ මෙතන මගුලෙ යනව.  මං බැනුං අහනව.  ආවට පස්සෙ කවුරුත් මුකුත් කියන්නෙත් නෑ.  මං විතරක් බැනුං අහල නිකං ඉන්නව.  අපේ අක්ක මට බනිනව.

ඇයි අම්ම මොකද කිව්වෙ?

අම්ම එනකං මට බැන බැන ආව උඹ තමයි ෆෝනුයි එක එක සිමුයි අරන් දිදී නංගිව  නරක් කරන්නෙ කියල. ආව ගමන් තාත්තගෙන් ඇහුව තමුසෙ කොහෙද ගියෙ කියල.  තාත්තත් කිව්ව අන්න සුරේෂ්ව හම්බවෙන්න යනව කියල ගියා කියල.  ඉතිං අම්මට තවත් මල.  මට තවත් බැන බැන හිටිය.  බැරි තැන තමයි මං මැසේජ් කලේ.  දැං තමුසෙ ආවම මුකුත් නැති ගානට ඔක්කොමල්ල ඉන්නව.  මට එතකං පණ යනකං බැන්න.

අපේ ගෙදර සාමාන්‍යයෙන් මට තරමක පිලිගැනීමක් තියනව.  ඉතිං ඔය වගේ බැනුං මට අඩුයි.  ඒකටත් එක්ක මගේ බැනුනුත් එක්ක අහන්නෙ අපෙ අක්ක තමයි.  පව් ඉතිං.

තමුසෙ ඇත්තටම කොහෙද ගියෙ?  අපේ අක්ක ඒ පාර සීඅයිඩී පාර දාන්න ගත්ත.
මං ගියෙ හර්ෂණීලගෙ ගෙදර. යද්දි හංදියෙදි සුරේෂ්ව හම්බුනා.  මට විතරක් කුඩේ යටින් යන්න බැරි නිසා මංමයි කුඩේ දුන්නෙ ඉහලන්න කියල.   ඔයාල අපිව දකින්න කලිං එයා දැකල කිව්ව ඔයාල එනව කියල.  මගෙන් ඇහුව පාර පැනල යන්නද කියලත්.  මං තමයි එපා කිව්වෙ අපි හොර වැඩක් කරනව නෙමේනෙ කියල.

ආ.. ඒකගෙත් හොර හිතනෙ..

ඔන්න ඊට පස්සෙ ඉන්න ගමන් අක්කට කියපු විදියටම වෙච්ච සිද්ධිය මං ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා.  තාත්ත හිනා වෙනව කොහොමද වැඩේ.  අම්ම හොදට ඇද ගත්ත නේද කිය කිය.
ඊට පස්සෙ වැඩේ ෂේප්.

 සිඟිතිගේ ආදරේ තවත් කොටසක් සමග ලගදීම හමුවෙමු...

සිඟිතිගේ ආදරේ

ඔන්න අද මම ලියන්න යන්නෙ දැනට අවුරුදු 6ක් විතර පරණ කතාවක්.  එදා පටන් ගත්ත ඒ කතාව තාමත් ගලාගෙන ගලාගෙන යන එකක්.  මෙන්න මේකයි වුනේ..

ඒ 2007 අවුරුද්ද. දෙවනි පාරටත් ඒ ලෙවල් ලියල, ප්‍රතිඵලත් ඇවිල්ල අර විස්සවිද්යාලෙ යන්න අයදුම්පත්‍රත් දාල ගෙදරට වෙලා බලන් ඉන්න කාලෙ.  එහෙම ඉන්න කාලෙ දවසක ඔන්න ලියුමක් ආව මාව අයදුම්පත්‍ර දාපු විස්ස විද්යාලෙකට තෝරගෙන කියල.  හා... ඉතින් කොච්චර සතුටුද කියන්නකො.  දැන් ඉතිං මේ සුභ ආරංචිය කාටහරි ලගම ලගම කෙනෙකුට කියන්නත් එපෑ. මතක් වුනේ මගේ හොදම හොදම යාලුවාව.  ඔව් ඔව්. යෙහෙලියක් නෙමේ,  යාළුවා.  ඒත් ඉතිං දවල් ජාමෙට මේ මනුස්සය ගෙදර නෑ.  ඒ දවස්වල එයාට (අදටත්) ෆිට්නස් හදාගන්න මාරම ආසාවක් තිබුන.  ඉතින් සතියට දවසක් ඇර දවසක් දුවනව ජිම් එකකට.  ඒ කාලෙ අද වගේ හැමෝටම ජංගම දුක තිබුනෙත් නෑ.  මං ගාව තිබුන අපේ අක්කගෙ පරණ ජංගම දුක.  හා හා පුරා කියල ගැහුව ආරංචිය කියල කෙටි පණිවිඩයක් එයාගෙ ගෙදර තිබුන දුරකථනයට.  ගෙදර ආවම දකීවිනෙ.

හවස් වුනා.  ඔන්න මගේ යාළුවා ගෙදර ආපු වෙලාවෙ කෙටි පණිවිඩය දැකල උත්තරයක් එව්වා.  මට සුභ පතල, කවදද විස්සවිද්යාලෙ පටන් ගන්නෙ කියල අහල තිබුන ඒකෙ අගට තිබුනෙ යන්න කලිං මාව හම්බ වෙන්න ඕන කියන්න දෙයක් තියනව කියල.  අන්තිම වාක්‍ය කියවද්දි ඔන්න මං වැට දිගේ ගියා.  යාළුවට මොනා හරි හිතිල තියනව කියල මට නිකං ඉවෙන් වගේ දැනුන.  ඒක ඉතිං සාමාන්‍ය දැනීම තියන ගෑනු ලමයෙකුට තේරෙන්න එපායැ නේද?

කෙටි පණිවිඩ හරහාම හම්බ වෙන්න එන දිනයක් සහ වේලාවක් ගැනත් අපි කතා වුනා.  හරි දැං තියෙන්නෙ යන්න.  ඒත් ඉතිං ගෙදරින් එලියට බහිද්දි කොහෙද යන්නෙ කින්ද මන්ද කියල කියන්න එපෑ.  වෙලාව කියන්නෙ ඒ දවසෙම මගේ හොදම යෙහෙලියගෙ කම්පියුටරේ ලෙඩක්ය කියල උපදෙසක් එයා මගෙන් පැතුව.  හරි ගෙදරින් එලියට යන හේතුවත් හරි.  හැබැයි අවුල කියන්නෙ යාළුවව හම්බ වෙන්න මට එලියට බහින්න වෙන්නෙ මහ දවල් 12ට.  මොකද එයාගෙ ජිම් එකේ කටයුතු ඉවර වෙලා එන්නං කියල තමා එයා මට කීවෙ.

එදා උදේම අක්කයි අම්මයි මොකක්දෝ වැඩකට නුවර ගියා.  තාත්තයි මායි විතරයි ගෙදර.  ඒක තවත් හොදයි.  මොකද ගෙදරින් එලියට බහිද්දි ඕනවට වඩා විස්තර ගොඩක් තාත්තට කියන්න ඕන නෑ.  තාත්ත අහන්නෙ ඕනම ටික විතරයි.  හේතුව දැන ගත්තෙ පස්සෙ.  ඒක වෙනම කියන්නංකො.  ඔන්න මං යන දිහාව කියල, නිකං කතාවෙන් කතාවෙන් වගේ යන හේතුවත් තාත්තට කියල පාරට බැස්ස.

කියපු විදියටම යාළුව ඉන්නව හන්දියෙ.  ඒ කාලෙ වැඩිය කුඩ ඉහලං යන්න පුරුදු නැති වුනත් අව්ව සැර වැඩිකමටම මං කුඩේ ඉහලං හිටියෙ.  එහා පැත්තෙන් යන මනුස්සය අව්වෙ කර වෙවී යද්දි මට සැපට කුඩේ යටින් යන්න පුළුවනෑ.  එයාටත් එක්ක කුඩේ ඉහලන්නත් බෑ මොකද එයා මට වඩා අඩියක්ම උසයි. මං ඉතිං එයාට කුඩේ දීල කිව්ව මටත් එක්ක ඉහලන්න කියල.  මුලදි ඕන නෑ කියල පස්සෙ එයත් කුඩේ මටත් එක්කම ඉහලගෙන අපි දැං ටවුන් එකේ පහලට යනව.  ටික දුරක් යද්දි ඔන්න යාළුවට පෙනුන අපේ අම්මයි අක්කයි ඉස්සරහට එනව.  ඔන්න එයා කලබල වුනා.

මං පාරෙන් එහා පැත්තට පනින්නද? අම්මලව පෙන්නන ගමං එයා අහනව.
ඕන නෑ.  හොර ගමනක් යනවයෑ.  මං කිව්ව.
හා..

තව අඩි දෙක තුනක් ඉස්සරහට යද්දි අම්මල අපිව දැක්ක.  ඔන්න අපේ අම්ම ඒ වෙලාවෙ මූණ පුම්බ ගත්තෙ හරියට මං පැනල යද්දි අතට අහු වුනා වගේ.  අක්ක නං හිනා වේ ගෙන ආව.
කොහෙද යන්නෙ. අක්ක ඇහුව.
කම්පියුටරේ මොකක්ද වෙලා කියල හර්ෂණී කිව්ව.  එහෙ යනව ඒක බලන්න.  අම්මටත් එක්කම අක්කට මං උත්තර දුන්න.
ඉක්මණට එනව එහෙනං. එහෙම කියපු අක්ක යාළුව දිහා බලල හිනා වෙලා යන්නං මල්ලි කියාගෙන අම්මත් එක්ක ගියා.

කියපු කතාව ඇත්ත කියල පේන්න නං මං තව ටිකක් ඉස්සරහට ගියාම තියන කහ ඉරෙන් පාර පනින්න ඕන.  ඒක නිසා මං යාළුවට කිව්ව මං කහඉරෙන් පාර පැනල ඉස්සරහට ගිහින් ඊලග කහ ඉරෙන් ආපහු මාරු වෙනකං එයාට ඉස්සරහට යන්න කියල.  එයත් හා කියල ඉස්සරහට ගියා.  ඔහොම ගිහිං පාර ආපහු මාරු වෙලා අපි දෙන්න ගියා කෑම කඩේකට.  කෑගල්ලෙ නිදහසේ ඉදගෙන ගෑනු ලමයෙකුටයි පිරිමි ලමයෙකුටයි කතා කරන්න කියල තැනක් නෑ.  (ඒක නං හරිම අඩුවක්)  ඒකයි අපි දෙන්න කෑම කඩේකට ගියෙ.  කෑමත් ගෙන්නව ගෙන දැං අපි දෙන්න ඉදගෙන ඉන්නව.  ඔන්න අපේ අක්ක මට අනතුරු ඇගවීම් සංඥාවක් එව්ව ගියපු තැනකින් ඉක්මණට ගෙදර එනව කියල.  හරි දැං ඔක්කොම දාල පලකො ගෙදර.  ඔන්න මං යාළුවටත් කිව්ව පණිවිඩේ ගැන.
එහෙමනං අපි යං නේද?  එයා කිව්ව.
මං කවදාවත් හර්ෂණීලගේ ගෙදර ගිහිං ටුක් ගාල ආපහු යන කෙනෙක් නෙවී.  ඉතිං එහෙව් එකේ අද කලිං ගියොත් හොරයක් කියල ෂුවර්.  ඒක නිසා මං කිව්ව නෑ තව ටිකක් ඉදල යං කියල.
යාළුවත් කෑම කනව නෙවේ අතගානව.  මටත් කා ගන්න බෑ.  කියනවයි කියපු එක කියන්නෙත් නෑ.
අපි එහෙනං යමු.  එයා කියපුවම මං හා කිව්ව.
දැං ආපහු ඔන්න අපි එනව.  තාමත් අර කියනව කියපු එක කියන්නෙ නෑ.  මෙච්චර ගිනි මද්දහනෙ මං ආවටත් පාඩුයිනෙ.  ඒ පාර මං ඇහුව අර කියන්න තියනව කිව්වෙ මොකක්ද කියල.
ඒක පස්සෙ දවසක කියන්නං.  ඒ පාර එයා කිව්ව.
ඇයි පස්සෙ දවසක? මං ඇහුව.
නෑ නිකං....
මේක ඇහුවම ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නෑ නේද?  ටික වෙලාවකින් එයා ආයෙ මගෙන් ඇහුව.
නෑ මොකක්ද?
චුට්ට වෙලාවක් නිශ්ශබ්දව හිටපු මගේ යාළුව එක පාරටම මං ඔයාට කැමතියි. ඔයා මොකද කියන්නෙ කියල ඇහුව.

මතු සම්බන්ධයි....
ආ ඒ ඉස්සර කතා ඉවර වෙලා දාන කෑල්ලනෙ..
ඒක නිසා දැං විදියට දැම්මොත්,

සිගිතිගේ ආදරේ රස විදින්න හෙටත් මේ පැත්තේ ඇවිත් යන්න...
(හෙට කිව්වට ඉතුරු ටික ලිව්වම හොදේ...)

Saturday, November 9, 2013

ඉස්කෝලේ මතකයක්

එතකොට අපි හිටියෙ 11 වසරෙ.   අපි යාළුවො සෙට් එක 5 දෙනෙක්.  මේ සිද්ධිය වුනේ අපේ සෙට් එකේ එකෙකුට අපේ වයසෙම තව ළමයෙක් හදපු පදයක් නිසා.  දන්නවනෙ ඉතිං ගෑනු ලමයි වුනාම ගුටිබැට නෑ ඇනුංපද විතරයි කියල (බොහෝ විට).

අපේ සෙට් එකේ හිටපු උස මහතම කෙනා තමයි වත්සලා.  ආදරේට වස්සා තමයි.  එයා ඉස්කෝලෙ ආවෙ තරමක් දුර ඉදන් වෑන් එකක.  ඔය වෑන්වල එන ලමයිට පයින් යන අපිට වගේ නෙමේ, ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකං වෙනමම ලෝකයක් තියනවනෙ.  ඔය අතරට පිරිමි ලමයි, අනිත් ඉස්කෝල වල ලමයි සහ අනිත් වෑන්වල ලමයි සම්බන්ධ ඕපාදූප බොහොමයක් එයාල දන්නව, කතා වෙනව සහ කතා හදනව.

දවසක් උදේ වස්සා ඉස්කෝලෙට ඇවිත් අපිත් එක්ක කියනව වෙන වෑන් එකක අපේ ඉස්කෝලෙට එන ලමයෙක් කියලලු වස්සා එයා එන වෑන් එකේ ඩ්‍රයිවර් අයියත් එක්ක යාළුයි කියල..  හා..... එහෙමත් අපේ එකෙකුට කතාවක් හදන්න ඉඩ තියන්න පුළුවන් ද අපිට.  අපේ හිත් වලට ආවෙ පුදුමාකාර මිත්‍ර ප්‍රේමයක් එක්ක අර කතාව හදපු එකාව කෝටු මස් කරන්න තරහක්..

යං ඕකිට දෙකක් කියන්න... අපි කතා වුනා විතරක් නෙවේ සෙට් එකම පාරට බැස්ස.  ඒ ලමයත් අපේ වයසෙමයි.  හැබැයි එයාගෙ පන්තිය තිබුනෙ අපේ පන්තිවලට ටිකක් දුර.  දැං ඒ පන්තියට යන ගමං අපි කතාව..

ඕකිට දෙකක් කියල බෑ.  හොම්බට දෙකක් ඇනලම එමු ආයෙ ඔය වගේ කතා නොකියන්න...
ඔව් ඔව්. හොද පාඩමක් උගන්නමු.

මේ වගේ අදහස් ප්‍රකාශ කර කර අපි සෙට් එක ගියා ඒ පන්තියට.  අපි යනකොට අර ලමය ඉන්නව පන්තියෙ ඉදගෙන.  ලගට අඩගැහුවෙ ඇගිල්ලෙන්.  ඒ පාර අර ලමයත් නැගිටල එනව නිකං මොකාද එකා වගේ.  ඇයි ඉතිං පන්තියෙ හිටියට අපි පස් දෙනෙක්ම ඇවිත් ඉන්නවනෙ.  අනික තමුන් කියපු කතාවත් එයා දන්නවනෙ.  ඔන්න චූදිතය අපි ලග හිටගෙන ඉන්නව.

‘ඇත්තද වත්සලාට මේ එක එක පද හදනව කියන්නෙ?‘  අපෙන් ප්‍රශ්නයක්.
‘ආ.. මොකක්ද?  මං දන්නෑ‘ අර ලමය කියනව.
‘දන්නෑ... දන්නෑ කියන්නෙ කොහොමද? වත්සලා එක එකා එක්ක යාළුයි කියල මේ හැමතැනම කියන්නෙ...‘
‘මේ.. මේ... පොඩ්ඩක් හිටපංකො මචං. මං කතා කරන්නං.‘ ඒ පාර වත්සලා මැද්දට පැනල කියනව.

හරි. දැං වත්සලාම මුණට අහද්දි මේකිට කට උත්තර නැති වෙනවනෙ. අපි වත්සලාට ඉඩ දුන්න.
‘එන්නකො‘ වත්සලා අර ලමයව අඩ ගහගෙන අපි හිටපු පැත්තෙන් පන්තියෙ අනිත් පැත්තෙ තිබුන දොරක් එහා පැත්තට ගියා.
දැං අපිට කර ගන්න දෙයක් නෑ. අපි ආවෙ ගහගන්න. දැං මේං කතාව අහගත්ත එකාම අර ලමයත් එක්ක සාම සාකච්ඡා දාන්න හදනව.  අපිත් ඉවසගෙන හිටිය.  මෙන්න ටිකකින් වත්සලා එනව අර ලමයගෙ අතිනුත් අල්ලගෙන.  අපිට මරු කේන්තියි.

‘හරි හරි. අපි යමු‘ අපි ගාවට ආව වත්සලා කිව්වා.  වරකො යන්න කියලා හිතින් හිතාගෙන අපිත් ආව.
මග දිගට එනකන් හැම එකාම වත්සලාට දෙහි කපනව.
‘ඈ මෝඩයො, අර මොකක්ද කරපු වැඩේ.  ගහගන්න කේන්තියෙන් ගිහින් අරකිගෙ අතිනුත් අල්ලන් ආපහු ආවෙ.‘
‘චික් විතරක් ආයෙ නං කතා කරන්න එපා ඕවට. මහ ලොකුවට ගියා දෙකක් කියල එන්න කියල. අන්තිමේට මේකිම සාම සාකච්ඡා දානවා‘
අපි හැමෝම බැන බැන ආපහු ආවා.


එදා ඉදන් ඕනෑම වලියක් සෙට් වෙච්ච වෙලාවට අපි වත්සලාට මේ සිද්ධිය මතක් කර කර නෝන්ඩි කරන්න නං අමතක කලේ නෑ.

Saturday, November 2, 2013

ව්‍යාපාරික පුවතක්




අද ලිපිය වෙන් කරන්නෙ පුංචි ව්‍යාපාරයක් වෙනුවෙන්.  ඒ තමයි මගේ ආදරණීය සැමියා මෙහෙයවන නව ව්‍යාපාරය - 'Indika Automation'.

සපයන සේවා ගැන මං පුංචි විස්තරයක් කරන්නම්.
Indika Automation හරහා ඔබගේ නිවාස වයරින් කිරීම සිදු කරගන්න පුළුවන්.  අලුතෙන් හදපු ඔබේ නිවසේ විදුලි සැපයුම් ආරක්ෂාකාරී වගේම දැරිය හැකි අයවැයකින් සිදු කරගන්න පුළුවන්.
මීට අමතරව කර්මාන්තශාලාවල යන්ත්‍ර ස්ථාපිතකරණය, නවීකරණය සහ අළුත්වැඩියා කිරීමත් සිදු කරනවා.  ඒ වගේම කර්මාන්තශාලාවලට අවශ්‍ය කරන යන්ත්‍ර දැරිය හැකි අයවැයකින් වැඩේට ඕන විදියට අළුතින්ම නිර්මාණය කිරීමත් සිදු කරනවා.

මේ ව්‍යාපාරයෙන් කෙරෙන කටයුතු ගැන වඩාත් හොද විස්තර සහිත ලිපි පහතින් දැක්වෙන  Indika Automation බ්ලොග් අඩවිය හරහා ඔබට බලාගන්න පුළුවන්.  මේ දවස් ටිකේ නම් ඒ බ්ලොග් අඩවිය වැඩිපුර යාවත්කාලීන වෙලා නෑ.  නමුත් ලගදිම කරපු අළුත් වැඩ ටිකක් ගැන විස්තර දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

මෙන්න ලිපිනය :
indika-automation.blogspot.com