Friday, January 17, 2014

එදා වෙච්ච දේ

පාන්දර එක වෙද්දි නිදි මරගාතෙන් ගිහිං මුණකට සෝද ගත්තෙ ලෑස්ති වෙන්න ගන්න.  කිව්ව වගේම අන්දවන්න එන අක්කත් ඒ වෙලාවටම ආව.  මේකප් කිරිල්ල පටන් අරන් ඔන්න ෆොටෝ ගන්න කට්ටිය එනකොට මං ලෑස්තියි.  ගෙදර කටයුතු ෆොටෝ අරගත්තට පස්සෙ පාන්දර පහකුත් ගානට පිටත් වීම.    පාන්දර කළුවරේ ගෙදරින් පිටත් වෙලා ගියෙත් ‍ෆොටෝ ගැහිල්ලටම තමයි.  උදේ අටට පූජාව පටන් ගන්නකං ආයෙ ගන්න වෙන්නේ නැති එකේ දිගට හරහට ෆොටෝ.  හිනාවෙලා කටත් රිදෙනව.  උදේ අට වෙද්දි පූජාව පටන් ගත්තා.  ඔන්න උදේ නමය වෙනකොට පල්ලියෙ කසාදෙ අහවරයි.  පූජාව ඉවර වෙනකං බයේ හිටියෙ හිතාගෙන හිටිය වගේ නමය වෙද්දි මේ වැඩ ටික ඉවර වෙන්නෙ නැති වෙයි කියල.  එතන වැඩ ටික ඉවර වෙච්ච ගමන් දඩි බිඩි ගාල හෝටලේට ගියෙ පෝරුවෙ චාරිත්‍රවලට ලෑස්ති වෙන්න.


අපි යනකොට අන්දවන්න ආපු අක්කත් ඇවිත් බලං ඉන්නව.  ප්ලෑන් කරං හිටිය වගේම ටක් ටක් ගාල ගවුමෙන් ඔසරියට මාරු වුනා.  උදේ හිටපු එකාද කියලත් කට්ටියට මාව දැක්කම හිතෙන්න ඇති.  උදේ පල්ලියෙ පිම්බිච්ච ගවුමකුත් ඇදන් කැරලි කැරලි කොන්ඩෙකුත් එක්ක දිගම දිග වේල් එකක් එක්ක හටන් කරපු මම දැං කොන්ඩ ගෙඩියකුත් බැදල මාල හතත් දාල ඔසරියකට මාරු වෙලා.  පුංචි කාලෙ ඉදන් පල්ලියට පිම්බිච්ච ගවුමක් අදින්න දැකපු හීනෙට මෑතකදි ඔසරියක් ඇදන් පෝරු නගින හීනෙත් එකතු වුනා.  අද ඒ හීන දෙකම එකපාර හැබෑ වෙලා.

 උදේ දහකුත් ගානට තිබුන පෝරුවෙ චාරිත්‍රත් පටන් ගත්ත.  කවදාවත් නොදැන හිටපු ඒ චාරිත්‍රවල තේරුං එක්කම අෂ්ටක කියපු කෙනා හරිම ලස්සනට ඒ වැඩටික කරා.  ඔන්න ඉතිං දෙවනි පාරට පෝරුවෙදිත් කසාද බැදගෙන අපි දෙන්න පෝරුවෙන් බිමට බැස්සා.  මල කෙලියයි...  බහිනකොටම බිදින පොලේ බිදුනෙ නෑ.  මක් කරන්නද. ආපහු අරන් බින්දා.  යන්තං ඒ පාර නං කෑලි යන්න පොලේ බිදුනා.  කට්ටියගෙ මූණුත් හරි නෑ.  මටත් නිකං මොකක්ද වගේ.  අවුලක් නෑ.  ඕව බොරු කියල මං පෙන්නන්කො.  මං හිතාගත්තා.

පහන් පත්තු කරල, කිරිබත් කපල,  යකෙක් කන්න බඩගිනි වෙලාවෙ ජුංඩං කිරිබත් කෑල්ලක් කාල බඩ අවුස්සගෙන, වතුර බූලියක් බොන්න පුළුවන් වෙලාවෙ වාසනාවට මොකෙකුටවත් ලුනු දාන්නවත් බටේ හිල් කරන්නවත් බැරි වෙච්ච ඇබිටිල්ලං වීදුරුවක තිබුන දිව්‍ය ඖසදේ වගේ බීම එකත් බීල ඔන්න ගියා හත්මුතු පරම්පරාවෙම වට වන්දනාවෙ.  ඊට පස්සෙ කෑම වෙලාව.  කෑම ටික නං පංකාදුයි.  වැඩිපුර බෙදා ගන්න බෑ වීඩියෝ කරන එවුවොයි ෆෝටෝ ගහන එවුවොයි රෙකෝඩ් කරනව.  අන්තිමට බඩගින්නෙ ඉදලම බෙදා ගත්ත ටිකවත් කා ගන්න බෑ.

අන්තිමට පිටත් වෙන වෙලාව කිට්ටු කරන් එද්දි අම්මල තාත්තලට වැදල කතා කරල සුභ නැකතින් අපි දෙන්න උත්සවේ තිබුන හෝටලෙන් තව ගමනක් යන්න පිටත් වුනා. :)

ඔය කිව්වෙ හරියටම මීට අවුරුද්දකට කලිං අද වගේ දවසක, ඒ කියන්නෙ 2013 ජනවාරි 17 වැනිදා දවස ගත වෙච්ච විදිය.  ඒ එදා.  අද වෙනකොට අපි දෙන්නා තුන් දෙනෙකුත් වෙලා.  යංතං අනිත් දෙන්නා නිදි අතරෙ මං මේ ටික කොටා ගත්තෙ ඇනිවසරි ස්පෙෂල් එකකුත් පෝස්ට් කරන්නම ඕන නිසා.  සුදු දූ නැගිටින්න ලගයි.  ඒක නිසා තව හැඩ වැඩ නැතුව මේක පෝස්ට් කරන්නම්.

25 comments:

  1. Happy Anniversary Singithi!!!

    අර මුලින් කිව්ව කතන්දරේ හැමෝටම පොදු දෙයක් නේද? ඒක අපුරුවට කියල තියෙනවා. සහතිකේටම ඇත්ත..

    ReplyDelete
    Replies
    1. Thank you..

      කවුරුත් එදාට පොදුවේ කන කට්ට නොවැ... හික්ස්..

      Delete
  2. ඔය ගෙවුන අවුරුද්ද වගේම ඉදිරි කාලයත් ප්‍රීතිමත් වේවා කියා පතනවා සිඟිති.

    කේක් කෑල්ලක් එහෙම නැතැයි???

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.
      කේක් කෑලි දෙන්න තිබුනා පොඩි එකා එක දිගට පැය හත අටක් නිදියනවනං. කොහෙද මේකා පැය දෙකෙන් දෙකට කට ඇරගෙන නැගිටිනවනෙ. ඒ පැය දෙක ඇතුලෙ තමයි මේ ඔක්කොම කර ගන්න වෙන්නෙ. ඒකයි කේක්වත් දෙන්න බැරි වුනේ ඈ..

      Delete
  3. ඉදිරි ජීවිතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්ඩ කියලා පතනවා.
    අර කිව්වත් වගේ අපිට කේක් කෑල්ලක් කන්ඩ තියෙන දවසක් අද.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා..
      මටත් කේක් නෑ බොලව්..

      Delete
  4. අනාගතේ සතුටින් ගෙවෙන සාර්ථක එකක් වෙන්න කියලා ඔන්න මාත් ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්..

      Delete
  5. හැක හැක .පොල් ගෙඩියට බයවෙච්ච අයෝ දැන් මොකද කියන්නේ....තාමත් ඔය බොරු මනස්ගාත් තියෙන එක ගැන තමයි දුක

    ReplyDelete
    Replies
    1. කිව්වට මොකෝ වැඩියක්ම බය වුනේ අපේ නැන්දම්මා. දැං නං පොල් ගෙඩිය මතක නෑ. ගිය අවුරුද්දෙම අප්‍රේල් වෙද්දි පොල් ගෙඩිය අමතක වෙන්න ප්‍රතිඵල මං පෙන්නුව නෙව ;)

      Delete
  6. ඔයාල තුන් දෙනාට ම සුබ ම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව සිඟිති!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනියෝ..

      Delete
  7. පොල් ගෙඩිය බිදුනේ නැත්තම් මොකද වෙන්නේ...
    දන්නේ නැති නිසා අහන්නේ.. ??

    හෆි අනිවර්සරි..

    ReplyDelete
    Replies
    1. එතකොට කට්ටියගේ මූනු ඇඹුල් වෙනවා... ඒක හරි අසුබ දෙයක් කියලා හිතනවා. ඒ නිසා පොල් ගෙඩිය බිඳින එකා ගෙදර ඉද්දිම තෙතුන් පාරක් උත්සහ කරලා එන්නේ. මොකව වෙඩිම වෙලාවෙදි හරියට බිඳ ගත්තේ නැත්තං නෑයන්ගෙන් එකේක කතා අහන්ඩෙපැයි. :)

      Delete
    2. එහෙනම් පුරුදු කෙනෙක් හොයලා දෙන්න වෙයි. දැන ගත්ත එකත් හොදයි මධු අයියේ.

      සිඟිත - සතුටින් නීරොගිව ඉන්න අපෙනුත් සුභ පැතුම් !!! 

      Delete
    3. අනිවාර්යෙන්ම... ඔය පොල් ගෙඩිය හරියට බිඳුනේ නැත්තං අසුබ කාරණාවක් කියලා හිතන නිසා පුරුදුකාරයෙක්ව හොයාගන්ඩ.

      පොල් ගෙඩියට හරියට බිඳලා බැන්ද කට්ටියත් දෙකඩ වෙන එකේ පොල් ගෙඩියකින් කරන්ඩ පුලුවන් අහවල් කෙංගෙඩියක්ද කියලා වෙලාවකට හිතෙනවා..හික්ස් :)

      Delete
    4. මොණරිටයි මදාරාටයි ස්තූතියි.
      මොණරිට උත්තරේ මධු මලයා දීල තියනව.

      පොලේ බිදින්න පුරුදු කාරයෙක් විතරක් නෙවෙයි කටුව හීනි පොල් ගෙඩි හැදෙන ගහකින් ගෙඩියකුත් ලෑස්ති කරගන්න. හැබැයි ඉතින් ඔය දෙකම කොරලත් තමා අපේ පොලේ පොලා පැන්නෙ. :)

      Delete
  8. පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්
    ලංකාවේ වතුවල වැවෙන පොල්......

    අවුරුද්දකට කලින් කිව්වා නම් එනවා පොල් කෑලි ටික අරන් යන්න.පොල් හැටයිනේ ඒ දවස්වල.

    ALL THE BEST & GOOD LUCK! පොඩ්ඩා සනීපෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා අරූ. ඔය පොල් බිදින කේස් එකත් මොඩිෆයි වුනොත් හොදා. මොකද ඒ තරමට පොල් ගිනි ගනං නෙව. :)

      පොඩ්ඩා සනීපෙට ඉන්නවා. ස්තූතියි..

      Delete
  9. සුබ පැතුම් .... මන් මෙච්චර දවස් හිතුවේ සිගිති කියන්නේ කොල්ලෙක් කියලා.. ඒ නිසා මචං බන් බොලන් කියල කියල ඇති.. සොරි ඈ ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. හැබැයි කලිං ලියපුවා බාගෙට කියවිල්ල හෙලා දකිමි ඈ...
      කෙල්ලොත් මචං බං බොලං කියල කතා කරගන්නව බං.. ඒක නිසා අවුලක් නෑ.. :)

      Delete
  10. සුබ පැතුම් අක්කියෝ... මගේ පළවැනි කොමෙන්ට් එකද කොහෙද// ඒත් දිගටම ආදර කතාව කියෙව්වා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මෙහාට සාදරයෙන් පිලිගන්නවා. (කලිං ආවට දැනං උන්නෙ නෑනෙ)
      අනේ ආදර කතාවෙ ඉතුරු ටික ලියන්නත් ඕනෙ අප්පා... බලමුකො ඉඩ ලැබෙන විදියට.

      Delete
  11. මගෙත් සුබ පැතුම්....

    ReplyDelete