Saturday, October 26, 2013

කේන්දර සහ අපේ ජීවිත

http://www.eseva.lk/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/r/e/read_horoscope_1.jpg
කේන්දර ගැන ලියම්දෝ නොලියම්දෝ කියල ඉන්නකොට ඊයෙ දවසෙ කියවන්න ලැබුනු කේන්දර ගැන පෝස්ට් කිහිපය නිසාම මේක ලියන්න ඕන කියල මට හිතුන.  වැඩිපුරම නදී නිම්නය කියෙව්වට පස්සෙ.

කේන්දරේ කිව්වම පොඩි කාලේ ඉදන් මට තිබුනෙ පුදුම කුතුහලයක්.  මොකද දෙමව්පියො කතෝලික වීම හේතුවෙන් කේන්දර විශ්වාසයක් අපේ ගෙදර තිබුනෙ නෑ.  හැබැයි අක්කටයි මටයි උපන් වෙලාව අනුව අම්මගේ යාලුවෙකුට කියල හදවගත්ත ජන්මපත්‍ර 2ක් නම් තිබුන. මගේ එකේ මං ගැන තිබුන පුංචි විස්තරේ ඇත්ත තමයි.  ඉතිං මට ඕකට හෙන සැටිස්.  ඔහොම ඉන්නකොට ලොකු කාලෙ මට හම්බ වුනා වෙලාව බලන සොෆ්ට්වෙයා එකක්.  ඕකට දිනෙයි වෙලාවයි දුන්නම ජීවිතේ හැම පැත්තක් ගැනම විස්තර කරන හෙන රිපෝට් එකක් එනව.  පුදුමෙ කියන්නෙ මං පොඩි කාලෙ වැටිල හිස්කබලෙ දකුණු පැත්තෙ පොඩි එබීමක් තියනව, ඒක පවා හරියටම මේ රිපෝට් එකේ තිබුන. (දැං ඉතිං හිනාවෙනව ඇති ආ ඒකනං හිතුන කියල.)  ඉතිං මේ සොෆ්ට්වෙයා එක නිසාත් මට කේන්දර ගැන සෑහෙන විශ්වාසයක් ඇති වුනා.



ඔන්න ඊට පස්සෙ උදා වුනේ ජීවිතේ වැඩියෙන්ම කේන්දර වැදගත් වෙන කාලෙ.  අපේ පවුල කතෝලික වුනාට මගේ මහත්තය බෞද්ධ.  ඒක නිසා එයාලගෙ ගෙදරින් කේන්දර බලන්න ඕන කිව්ව.  ඕකට අපේ ගෙදරට කේන්දරේ ඉල්ලනව කිව්වොත් වලියක් ෂුවර් නිසා මං මහත්තයට විස්තර කරල දුන්නට පස්සෙ මගේ උපන් වෙලාවට එයාලගෙ අම්ම මට කේන්දරයක් හැදෙව්ව.  ඊට පස්සෙ තමයි නියම කතාව.

ඒ කේන්දර හදපු කෙනා මං ගැන විස්තර එහෙම කරල කියල තියනව මට මේ දවස්වල ගොඩක් අපල කියල.  ඒ වගේමයි මගේ මහත්තයටත් මේ ගෙවෙන්නෙ එයාගෙ ජීවිතේ නරකම අපල කාලයලු.  ඉතින් විවාහය කරනව නං හරියටම තිතට නැකතට කරන්න කියල තමයි උපදේශය.  ඒත් එක්කම අපේ පොරොන්දං ගලපනවනෙ.  ඔන්න ඉතිං මේ කෙනත් අපේ පොරොන්දං ගලපන්න ගත්ත.  ඒකෙත් හැටි කියන්නෙ ඒව ගැලපෙන්නෙත් 50%-60% විතරලු. මේ දේවල් කරන කාලෙ වෙනකොට මහත්තය හිටියෙ රට.  ඉතිං මේව මගේ කනට එන්නෙ කෙලින්ම එයාගෙ අම්මගෙන්.  මොකද ලංකාවෙ හිටිය නං එයා හරහා සැර බාල වෙලා එන නිවුස් වුනාට මේ සේරම එයා නැති නිසා අම්ම මට කෙලින්ම කියනව.  ගැලපිල්ලත් මදි නිසා අර කෙනා කිව්වලු අපි දෙන්නට වෙලාවක එයාව හම්බ වෙන්න එන්න කියල උපදෙස් දෙන්න. 

මේ කතාව අහපුවාම මොනව වුනත් මගේ හිතට හරි නෑ.  මං ඉතිං හෙමින් හෙමින් මේ කතාව මහත්තය කතා කලාම කිව්ව.  එයාගෙ උත්තරේ වුනේ මොකක්ද දන්නව ද?
‘ඉතිං අපි දෙන්න ඔය හැටිම ගැලපෙන්නෙ නැත්තං මෙච්චර අවුරුදු 6ක් කවදාවත් රන්ඩු නොවී හිටියෙ කොහොමද අනේ? කේන්දර ඔය හැටි විශ්වාස කරන්න ඕන නෑ.  නැකත් වලට වැඩ ටික කරමු එතකොට හරි.‘
එයා කියපු කතාව සහතික ඇත්ත.  කොච්චර අර මනුස්සය කිව්වත් අපේ පොරොන්දං ගැලපීම අඩුයි කියල, අපි යාළුවෙලා අවුරුදු 6ක් වුනත් කවදාවත් රන්ඩු වෙලා තිබුනෙ නෑ.  වෙලාවකට අපි දෙන්න කතා වෙනව මේක හරියන්නෙ නෑ අපි දෙන්නත් ඔය අනිත් අය වගේ රන්ඩු වෙමු කියල.
ඔන්න ඉතිං ඒක අහල හිත සැහැල්ලු කරගෙන ඉන්නකොට ආයෙ දවසක ඔය පොරොන්දං ගැලපිල්ල ගැන පත්තරේ තිබුන ලිපි පෙලක් එකතු කරල එයාලගෙ අම්ම මට පෙන්නුව. ඒවයෙ ඔය එක එක ජාති ගැන විස්තර කරල තියනව.  ඒවයෙ හැටියට අපිට ලමයි හදන්නත් බැරි තරං. මගෙ ආයුෂත් මහත්තයගෙ ආයුෂ වලට වඩා අඩුලු. ගැහැණු කෙනා හරිනං පිරිමි කෙනාට වඩා ජීවත් වෙන්න ඕනලු. ඔය වගේ විවිධාකාර දේවල් ගොඩක් එදා ඒ ලිපි වලින් හොයාගෙන අම්ම මට කිව්ව.

හිතන්න පුළුවන්ද මං පත්වෙච්ච අපහසුතාවය? මං සද්ද නැතුව අහන් හිටිය. ගෙදර ගිහිං ගොඩක් කල්පනා කලා.  මං මේක මහත්තයටවත් කිව්වෙ නෑ.  මං දන්නව ඒක කිව්වොත් එයා ඒක පිලි ගන්නෙ නෑ.  එයා ඒ තරමටම මට ආදරෙයි.  හරි ඔය කියන හරුප ටික ගැන මං බලා ගන්නං කියල ඊට පස්සෙ මං හිතුව.

ලමයි නෑ කියපු මට අපේ පලවෙනි විවාහ සංවත්සරය වෙනකොට අපි දෙන්නම බලාපොරොත්තු වුන විදියෙ චූටි පැටියෙක් ලැබෙන්න ඉන්නව.  ඉතිං එදා ඒ කියපු විදියට කේන්දර ගැලපිල්ල ගැන විශ්වාස කරල ආයුෂත් අඩුයි, ලමයි හදන්නත් බෑ කියල මගේ මහත්තයගේ යහපත වෙනුවෙන් කියල මං එයාව දාල යන්න හිත හදා ගත්ත නං අද ඒ මනුස්සයත් දුක් විදිනව මාත් දුක් විදිනව.  මේ තරං ලස්සක ජීවිතයක් අපි දෙන්නටම නැති වෙනව.

කේන්දරවල ඇත්තත් ඇති.  ඒ වුනාට මගේ ජීවිතේට මං ඒව විශ්වාස කරන්න දැං ටිකක් හිතනව.  සුභ කටයුත්තක් කරද්දි නැකතක් බැලුවට කමක් නෑ.  ඒක හිතට හයියක්නෙ.  ඒ වුනත් කේන්දරේ විශ්වාස කරගෙන ඒකෙම එල්ලිලා හිටියොත් අපි දන්නෙත් නෑ අපිට අපේ ජීවිතේ මග ඇරිල යනව.  තමන්ගෙ ජීවිතේ දිව්‍ය ලෝකයක් කරගන්නත් අපායක් කර ගන්නත් පුළුවන් වෙන්නෙ තමන්ටමයි.  මං දැං විශ්වාස කරන්නෙ එහෙමයි.

Wednesday, October 23, 2013

ගෑනු ළමයෙකුට පෙම් හසුනක්

මේ අපි ඉස්කෝලෙ කාලෙ කරපු වැඩක්.  එතකොට මං 11 වසරෙ හිටියෙ.  ආයෙ ඉතින් කියන්න දෙයක් තියනවෑ.. ජීවිතේ සුපිරිම පිස්සු කාලෙ.

ඒ දවස්වල මං ගණං පන්ති ගියපු සර් ඉරිදා දවස්වලට දැම්ම වෙනම ජ්‍යාමිතිය පන්තියක්.  ඒකට 11 වසර විතරක් නෙමේ 10 වසරෙ ලමයිනුත් ආව.  සර් ඒක කලේ දෙගොල්ලන්ටම පොදු විදියට.  අපි ඉතින් පන්තියෙ ලොක්කොනෙ එතකොට.  ඒක නිසා අපි තමයි පන්තියෙ මුල්ම පේලිවල හිටියෙ. ( මම කියන්නෙ ගෑනු ලමයෙක් නිසා තමයි මෙහෙම වුනේ.  පිරිමි ලමයි නං ඕකෙ අනිත් පැත්ත මයෙ හිතේ.)

ඒ දවස්වල ඉස්කෝලෙ අපේ පන්තියෙ අපේ කණ්ඩායමේ හිටපු ලමයි දෙතුන් දෙනෙක් අපිත් එක්ක තරහ වුනා.  ගෑනු ලමයි අතර තරහක් කියන්නෙ ඔය පිරිමි ලමයි වගේ ගුටි ඇන ගැනිලි නෑ වචන හුවමාරු විතරයි.  ලගින් ගියොත් මොකක් හරි ඇනුම් පදයක් කියනව වගේ දේවල් තමා අපි තරහ වුනාම කරන්නෙ.  මං කිව්වනේ මේ අපේ කණ්ඩායමේම ලමයි දෙතුන් දෙනෙක් කියල.  ඒ කියන්නෙ කලිං මෙයාල අපේම යාළුවො.  ඉතින් මේ පන්තියට මුලදි අපි එකට තමයි ගියෙ.  හැබැයි කට්ටියටම එකම පෝලිමේ ඉද ගන්න ඉඩ මදි නිසා පෝලිම් දෙකක තමයි ඉද ගත්තෙ.  ඒ ඉද ගද්දි මම මගේ යාළුවො එක්ක ඉස්සරහ පෝලිමේ.  මේ දෙතුන් දෙනා අපිට පිටිපස්සෙ පෝලිමේ.  තරහ වුනත් මේ ඉද ගන්න විදිය වෙනස් වුනේ නෑ.

කොහොම හරි මෙහෙම තරහෙන් ඉන්නකොට ඉතිං අපි විවිධ ක්‍රම කල්පනා කරනවනේ තරහකාරයට රිටන් එකක් දෙන්න.  එහෙම කල්පනා කරද්දි අපිට රත්තරන් වගේ අදහසක් පහල වුනා.

අපේ තරහකාරයො සෙට් එකේ ඉන්නව කවදාවත් මේ වෙනකොට යාලුවෙන්න පිරිමි ලමයෙක් පස්සෙන් ආවෙ නැති ගෑනු ලමයෙක්.  එයාට ඒ ගැන සෑහෙන හිතේ අවුලකුත් තිබුන.  ඒ වගේම එයාගෙ රූපෙ ගැනත් අපි වගේ නෙමේ හෙනම සැලකිල්ලයි.  ඒත් ඉතිං කවුරුත් අහන්නෙ නෑ.  මේක නිමිති කරගෙන තමා අපිට අර අදහස පහල වුනේ...  හිතාගන්න පුළුවන් ද මංදා අපේ හිතට ආව අදහස... :)

http://fc00.deviantart.net/fs71/i/2013/137/0/c/commission_high_school_love_by_toongrowner-d65jkd0.png

අපි අර ළමයට කොල්ලෙක් ලියන විදියට චිට් යවන්න ගත්ත. හික්ස්...

අපේ යාළුවො සෙට් එකේම අකුරු එයා අදුරන නිසා අපි මේ වැඩේට අපේ බොක්කම ෆිට් එකක් වෙච්ච නංගි කෙනෙක්ව තමා යොදා ගත්තෙ.  අර අපි ‘අපි‘ කරපු හැටි පෝස්ට් එකේ කියපු අත් දෙක දෙපැත්තට දාගෙන කොන්ක්‍රීට් එක උඩට පැනපු නංගිම තමයි මේ නංගි.  අදහස කියපු ගමන් හරි අක්කෙ මං කරල දෙන්නං කියල බොහොම ආසාවෙන් වැඩේට සහයෝගය දුන්න.  චිට් එක ලියල එයාල පන්තිය වෙලාවෙ හෙමීට ඉස්සරහට එවනව.  එහෙම තමයි ප්ලෑන් එක.

පලවෙනි දවසෙ චිට් එක අපේ තරහකාරයාගේ අතට ලැබුන.  කුටු කුටු සද්දෙයි ඇඹරිල්ලයි නිසා අපි ඒක තේරුං ගත්ත.  අපිට හෙන සැටිස්..  වැඩේ තේරුනාට අපි නොතේරුනා වගේ පන්තියෙ හිටිය.  අර සෙට් එක නං චිට් එක ලැබුනට පස්සෙ පාඩම අහගත්තෙම නෑ.

http://us.123rf.com/400wm/400/400/mammothis/mammothis1201/mammothis120100006/12002194-the-girl-received-a-love-letter-and-she-was-surprised.jpg

දෙවනි දවසෙ අපි එයාලට පිටිපස්සෙන් ඉද ගත්ත.  පිටි පස්සෙ ඉදන් අර නංගි එවන චිට් එක එතකොට අපිමයි අර ලමය අතට දෙන්නෙ.  ඒකෙන් මේ සිද්ධිය අපිත් දැන ගත්ත කියල ඒ ලමයට දැන ගන්න අරින්නයි අපිට ඕන කලේ.  ඔන්න එදත් වැඩේ හරි. චිට් එක ආව.  එවෙලෙ ඉදන් මුං පාඩම අහගන්නෙ නෑ.  කැරකි කැරකි අර කොල්ලව හොයනව.  එදා නං අපිටත් වෙන වැඩක් නෑ.  අර ලමයින්ගෙ ඇඹරිල්ල බල බල අපිත් හිටිය.

මේ වැඩේ අර ලමය හෙනම සීරියස් විදියට අරන් කියල තේරුනේ ඊට පස්සෙ සතියෙ මේ ලමය අර චිට් ඉස්කෝලෙ යාලුවන්ට පෙන්නන්න ගෙනාව කියල දැන ගත්තම.  අපි ඒ වෙනකොට අර නංගිට කියල හොද දිග පෙම් හසුනක් ලියවගෙන තිබුනෙ ඊලග පාර අර ලමයට දෙන්න.  ඒ වුනාට ඒ වැඩේ නිකංම නතර වුනා.  කොහොම හරි පන්තියත් ඒ වෙද්දි ඉවර වෙන්න ලං වෙලා තිබුනෙ.  ඒක හින්දද මංද වැඩේ දිගට ගියෙ නෑ.

දැං නං ඒක ගැන හිතද්දි අර ලමය පව් කියලත් හිතෙනව.  ඒත් ඉතිං ඒ කාලෙ ඒ වගේ ආතල් නොගත්තනං අද කාලෙ මේ වගේ පෝස්ට් ලියන්නත් බෑ නෙව.  ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන්න ලං වෙනකොට නං දැන ගත්ත පස්සෙ අර ලමයට ඒ චිට් එව්වෙ අපි කියල ආරංචි වුනා කියල.  ඇයි ඉතිං අපි ඔක්කොම එකට හිටපු යාළුවොනෙ.

ඔන්න ඔහොමයි අපි ගෑනු ලමයෙකුට පෙම් හසුන් ලිව්වෙ....

Tuesday, October 15, 2013

මෙහෙමත් දරුවෝ....

අද හිතට ගොඩක් දැනුන සිදුවීමක් වුනා.  ඒ මගේ සේවා ස්ථානයේදී.  රාජ්‍ය බැංකුවක ව්‍යාප්ති කාර්යාලයකට මේ දවස්වල අනුයුක්ත වෙලා ඉන්න මට මේ දවස්වල නිතර මුණ ගැහෙන්නෙ විශ්‍රාමික උදවිය.  මාසෙකට සැරයක් බැංකුවට ඇවිත් පෙන්ෂන් එක අරගෙන පුංචි කතා බහක යෙදිල යන ඒ අයගෙ කතා සමහර වෙලාවට ඇහුවම පුදුම හිතෙනව.  පත්තරෙන් ටීවි එකෙන් ඇහෙන දකින කතා ඒ අය සමහරු හැබෑවටම අත් විදිනව.  ඉතින් අද අහන්න වුනෙත් පුදුම හිතෙන කතාවක්.



අපේ බැංකුවට හැම සැරේම පෙන්ෂන් ගන්න එන කාන්තාවක් ඉන්නව.  ඇය පෙන්ෂන් දිනයට නොවැරදීම ඇවිත් ඒ එන මුදලින් රු.2000ක් විතර පොතේ ඉතුරු කරල අනිත් මුදල් සියල්ලම අරගෙන පිටව යනව.  ආයෙත් දවසකින් දෙකකින් ඇවිත් ඉතුරු මුදලෙනුත් රු.100, 200 ගානෙ අරගෙන සතියක් විතර ඇතුලත පොතේ තියන මුලු මුදලම අරගෙන යනව.  හැමෝම පඩියට හරි පෙන්ෂන් එකට හරි කරන්නෙ මේක නේද කියල දැන් ඔබට හිතෙනව ඇති.  ඇත්ත අපි හැමෝම වගේ එහෙම තමයි.  අපි හැමෝම ඒ ගන්න මුදලින් කරන්නෙ කන්න බොන්න දේවල් මිලදී ගන්න එක, ගෙදර බිල් ටික ගෙවන එක සහ හැකිනම් පුංචි ඉතිරියක් කරන එකනෙ.  ඒත් මේ කාන්තාව ඒ මුදලින් කරන දේවල් ඊට ටිකක් වෙනස්.

අද ඇය බැංකුවට ඇවිත් මුදල් ගත්ත අවස්ථාවේ අපි ඒ ගැන ඇගෙන් ඇහුව.  ඇ‍ගේ පෙන්ෂන් එකෙන් රු.2000 ගානෙ ඇගේ දරුවො තුන් දෙනාට ඇය දීල තිබුන.  ගිය මාසෙ කඩවලින් ගත්ත ණය ගෙවල තිබුන.  ගෙදර තිබුන රේඩියෝ එක කැඩුන නිසා පුංචි රේඩි‍යෝ එකක් අර‍න් තිබුන.  තව රු.1700ක් ඇයට කෑම උයල දුන්න නිසා ඇගේ ලේලියට ගෙවල තිබුන.  තව ඇගේ පොඩිම ලේලියට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා ඒ අයටත් උදව් කරන්න ඕන කියලත් ඇය කිව්ව.

ඇය පිටත්ව ගියාට පස්සේ ඇ‍ය කොහෙද ඉන්නෙ කියල මම මගේ කළමණාකාරතුමාගෙන් ඇහුව.  ඇය ජීවත් වෙන්නෙ අපේ ශාඛාවට ආසන්න ස්ථානයක ඇගේ නිවසේ.  ඒ නිවසේ එක් පැත්තක ඇගේ එක පුතෙක් ජීවත් වෙනව.  අනිත් පැත්තෙ ඇය ජීවත් වෙනව.  ඒ අනිත් පැත්තෙ ජීවත් වෙන ලේලි තමයි ඇයට කෑම උයල දෙන්නෙ.  සමහර දවස්වලට ඒ නිවසේ ඉන්න පුතා ඇයත් සමග බැංකුවට ඇවිත් ඇගේ පොතේ ඉතුරු වෙලා තියන මුදල් සියල්ල ඇය ලවා ලබා ගෙන යනව කියලත් කළමණාකාරතුමා කිවුව.

ඇගේ දියණිය ජීවත් වන්නෙ ඇගේ නිවසෙන් තරමක් දුර ප්‍රදේශයක.  ඒ ප්‍රදේශයේ හොද තත්ත්වයක තියන සිල්ලර කඩයක් ඒ දියණියගේ සැමියට තිබුනත් පෙන්ෂන් එකේ පංගුව අනිවාර්යයෙන්ම ඒ දියණිය ඉල්ලනව.

ඇගේ බාලම පුතා ඉන්නෙ කොරියාවෙ.  වරක් ඔහු ඇයට රු.1000ක් එවල තිබුන.  ඒ මුදලත් ඇයට ඊලග පෙන්ෂන් එකෙන් ගෙවන්න වුනා.  මෙහෙමත් දරු‍වො ඉන්නව ද කියල ඔබ හිතනව ඇති.  මේ කතාව ඇහුවම මටත් හිතුනෙ එහෙමමයි.

ඒ ඔක්කොටම වඩා මේ ඔක්කොම කරන ඒ ලමයි ගැන ඇය කිව්වෙ,
"එයාලටත් වැඩි පඩියක් හම්බ වෙන්නෙ නැතුව ඇතිනෙ මිස්.  අමාරු ඇති මට උදව් කරන්න.  නැත්තං මට නොදී ඉන්නෙ නෑනෙ."

දරුවො මොන දේ කලත් ඒ අම්මගෙ හිතේ දරුවො ගැන තරහක් තිබුනෙ නෑ.  එහෙම අම්මෙකුට ලැබිල ඉන්න මෙහෙමත් දරුවො කියල මට හිතුන.