Sunday, February 9, 2014

බය පෙන්වීම

මෙච්චර පාන්දරක කොටන්න ගත්ත පලවෙනි වතාව තමයි මේ.  සුදු දූ දොයි වෙලාවෙ මටත් නිදිමතකුත් නැති නිසා මේ පැත්තෙ ආවොත් හොදයි කියල හිතුන.  මේ ටික දවසට මේකෙ තියන දූවිලි කන්දරාව.  අස්පස් කරල කාරිය ඔන්න ලියන්න පටන්න ගත්ත.

පාඩම් ගොඩක් ඉගන ගත්ත සිද්ධියක් වගේම මම ජීවිතේ වැඩිපුරම බයවුන අවස්ථාව තමයි මේ. 

සිද්ධිය වෙද්දි මගේ සුදු දූට හරියටම මාසයයි.  එදා හවස මහත්තයත් හිටියෙ ගෙදර.  එයාගෙ අතට දූ නලවන්න දීල මම රෙදි මදින්න ගියා.  අඩ අඩ හිටපු දූ පැටියත් සද්දයක් නැතුව නිදා ගත්ත.  මමත් රෙදි මැදල ඉවර වුනා.

‘සිගිති..‘  මහත්තය කාමරේ ඉදන් කතා කරේ මං මැදපු රෙදි ටික අතට ගන්නකොටමයි.
‘හ්ම්..‘
‘සිගිති..‘  මං අතට ගත්ත රෙදි ටික පුටුව උඩට අත ඇරල කාමරේට දිව්වෙ ඒ කතා කලේ පෙනෙන්න නැති නිසා නෙමෙයි කියල හිතට දැනුන නිසා.

මං යනකොට මහත්තය දූ පැටියගෙ ඔළුව පාතට හිටින්න අල්ලගෙන පිටට ගහනව.  දූට කිරි වමනෙ යනව.  මමත් දුවල ගිහින් දූව තවත් හොදට පහත් කරන විදියට අල්ලගෙන පිටට තට්ටු කරන්න ගත්ත.  ඒ වෙනකොට දූගෙ කටින් විතරක් නෙමෙයි නහයෙනුත් වමනෙ ඇවිත්.  දූ ‍හොදටම රතු වෙලා හිටියෙ.  නහයෙන් ආපු වමනෙ නිසා එයා හුස්ම ගත්තට ගත්තට ගන්න බෑ.  නහය හිරවෙලා.  ගොඩක් චූටි නිසා එයාට කටින් හුස්ම ගන්න තේරෙන්නෙත් නෑ.  උඩට හුස්ම අදින්න උත්සාහ කර කර එයා තදින්ම කට වහගෙන අඩනව.

මට මතකයි දවසක් අපේ අක්ක එයාගෙ පුතාට කිරි පිට උගුරෙ ගියපු වෙලාවක හරියන්න කියල හයියෙන් පිටට ගැහුව.  පුතාට ඒ පාරෙ සැරට තමයි හරි ගියෙ.  ඒ වගේම පුතා රිදිච්ච හින්දම මහ හයියෙන් ඇඩුව.

ඉතින් ඒ අත්දැකීමෙන් මාත් පුළුවන් තරං හයියෙන් පිටට ගැහුව. ඒත් මගේ අතින් ඒ හැටි තදට පාරක් වැදුනෙ නෑ.  මං දූව අල්ලගෙන පිටට ගහන අතරෙ මහත්තය කිව්ව ඉක්මණට ඉස්පිරිතාලෙට ගෙනියමු කියල.  ඊට පස්සෙ ටික වෙලාවක් මහත්තය මං ලග හිටියෙ නෑ.  ඊලග මොහොතෙ මගෙ ඔළුවට හෙල්මට් එකක් වැටුන.  ෆ්ලැනල් එකකුත් මගෙ අතට දීපු මහත්තය ඒ ඩිංගට කලිසමට මාරු වෙලා හිටිය.  ඔය අතරෙ තව දෙයක් වුනා.

අපි දූගෙ පිටට ගහන වෙලාවෙ අම්ම (නැන්දම්මා)
‘හාමුදුරුවො එනව‘ කියාගෙන ගෙදරට දුවගෙන ආවෙ මිදුලෙ ඉදල.  අපි දෙන්නට ඒකෙ ගානක් තිබුනෙ නෑ.  දූ අරගෙන එලියට දුවද්දි යන්තමට දැක්ක තැඹිලි පාට සිවුරක්.  ඒත් ඒ වෙලේ දූ දිහා බලාගෙන එලියට දිව්ව මිසක් හාමුදුරුවො සුදුද කලුද කියලවත් මංනං දැක්කෙ නෑ.  හාමුදුරුවොත් එක්ක තව ගොඩක් කට්ටිය ඇවිත් හිටිය.  අපි දෙන්න ඒ ගැන සිහියක් නැතුව කෙලින්ම දුවගෙන ගියෙ බයිසිකලේ ගාවට.

ෆ්ලැනල් එකේ ඔතපු දූවත් වඩාගෙන කොහොම බයිසිකලේට නැග්ගද මන්ද.  ඊලගට මට මතක අපි ගලිගමුව පැත්තට බයිසිකලේ ගියා කියල විතරයි.  අඩා ගන්න බැරුව හිටපු දූ පැටිය බයිසිකලේ යද්දි කිසිම සද්දයක් නැතුව ඇස් පියා ගත්ත.
‘පැටියො නැගිටින්න. ඇස් අරින්න..‘ කිය කිය මම සුදු දූව හෙලෙව්වෙ නින්ද යන එක හොද දෙයක් නෙමේ කියල මට හිතුන නිසා.

අතක් හෙලෙව්ව මිසක් දූ ඇස් ඇරියෙ නෑ.
‘ඔයාට මුකුත් වෙන්නෙ නෑ පැටියො.  අනේ ඇස් අරින්න‘ දූ දිහා මං බලන් හිටියෙ එයා හුස්ම ගන්නව නේද කියල දැන ගන්න.  ඒ වෙනකොට එයා අමාරුවෙන් ටිකක් ටිකක් හුස්ම ගත්ත.

ගලිගමුවෙ හිටපු පලවෙනි වෛද්‍යවරයා ගාවට අපි දුවගෙන ගියා.  අපි බබා වඩාගෙන දුවගෙන ගිය ගමන් අපිව වෛද්‍යවරිය වෙත එසැනින්ම යොමු වුනා වගේම ඒ මොහොතෙ බල බල හිටපු ලෙඩාවත් පැත්තක තියල දූව එතුමිය වහාම අතට ගත්ත.  කිරි වමනෙ ගියා කියපු නිසා ගත්ත ගමන් කකුල් දෙකෙන් උස්සල පිටට ගැහුව.  ඇය දූව අල්ලපු විදියට මට තේරුනා ඇය පලපුරුදු විදියට දරුවා අල්ල ගත්ත කියල.  ඒක නිසා මම සද්ද නැතුව බලන් හිටිය.  ඊලගට දරුවාව යට පැත්තට හරවල පිටට ගැහුව.  ගෝස් කෑල්ලක් අරං නාස් පුඩු වලට තියල කටින් නාස් පුඩු ඉරුවා.  අන්තිමට දූගෙ බඩත් පපුවත් අතර ප්‍රදේශය තෙරපුවා.  එහෙම කරාට පස්සෙ තමයි දූ පැටිය හයියෙන් ඇඩුවෙ.  මගේ ජීවිතේ දෙවනි වතාවට දූ අඩනව අහල මං සතුටු වුනා.  ඊට පස්සෙ ෆ්ලැනල් රෙද්ද මේසෙට එලල දූව තියල ඇගෙ වෙද නලාවෙන් දරුවා පරීක්ෂා කලා.

දූගෙ පෙනහළුවලට කිරි බොහොම ස්වල්පයක් ගිහින් තිබුනා.  බෙහෙත් නියම කරපු ඇය නිතර දරුවාට හෙම්බිරිස්සාව හැදිගෙන එනවද කියල කල්පනාවෙන් ඉන්න කිව්වා.  ඒ අවස්ථාවෙ හෙම්බිරිස්සාව හැදුනොත් නිවුමෝනියාවට එන්න ගොඩක් ඉඩ වැඩියි.  නිවුමෝනියාව එච්චර චූටි දරුවෙකුට පහසුවෙන්ම මාරාන්තික වෙනව කියල මං දැනං හිටිය.  ඇඩුවට පස්සෙ මට තුරුල් වෙලා දූ පැටිය සනීපෙට නිදා ගත්ත.  වෛද්‍යවරියට ස්තූති කරල අපි ගෙදර ගියා.

අපි ගෙදර ගියාට පස්සෙ තමයි අම්ම සිද්ධිය දැන ගත්තෙ.  හාමුදුරුවොත් අම්මගෙන් අහල අපි දෙන්න හදිස්සියෙම දිව්වෙ ඇයි කියල.  අම්ම කියල අනේ දන්නෙ නෑ හාමුදුරුවනේ.  මාත් දැනුයි ගෙට ආවෙ කියල.
ඊට පස්සෙ අම්ම කියනව,
‘බබාට එච්චර අමාරුවක් වෙලත් සිගිති කෑ ගැහුවෙවත් නෑනෙ.  ඉතිං දැන ගන්නෙ කොහොමද?‘
.....

ඒ සිද්ධියෙන් චූටි බබාලා ඉන්න අයට දැන ගන්නත් එක්ක කියල දෙන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත. 
  • කිරි වමනෙ යද්දි කවදාවත් දරුවාව උඩට උස්සන්න එපා.  දරුවා මුනින් අතට හරවල හිස පපුවෙ මට්ටමට වඩා පහත් කරල පිටට ගහන්න.  ඒ වෙලාවට බෙල්ල නැවෙන්න දෙන්න එපා.  මුහුණ සහ බෙල්ල හොදට අත තද කරල අල්ල ගන්න.
  • නහයෙන් වමනෙ පිටට ආවොත් ඉක්මණටම නාස් පුඩු වලට කට තියල උරන්න.  වෛද්‍යවරිය ගෝස් පාවිච්චි කලේ පිට කෙනෙක් නිසා.  අපේ දරුවා අපිට කැත නෑනෙ.  දරුවාගේ ජීවිතයනෙ වැදගත් වෙන්නෙ.
  • කිරි බීවාට පසුව උරහිසේ තියාගෙන ගුඩුස් යැව්වට පස්සෙ දරුවා මුනින් අතට පැය බාගයක්වත් නිදි කරවන්න.  කිරි වමනය ගියොත් ඒවා පෙනහළුවලට යාමෙන් වලක්වා ගන්න ඉතාම පහසුයි.  ඒ වගේම නිදි කරවන්නෙ නැතුව තනියම නිදා ගන්නත් පුරුදු වෙනවා.
  • පුංචි දරුවන් හොදින් ඔතා උණුසුම්ව තබන්න.  ඔවුන්ගේ වර්ධනයට එය ඉතාම හිතකරයි.
  • කිරි බොන විට දරුවාගේ බඩ හොදින් අම්මගෙ පපුවට තද වෙන ආකාරයට තබා ගැනීමෙන් කිරි බොන අතරවාරයේම ගුඩුස් යන නිසා දරුවා හොදින් වැඩිපුර කිරි බොන්න පුරුදු වෙනවා.
 ඒ ඔක්කොටමත් වඩා මං ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි,
අමාරුවට (හෝ බයට) කෑ ගැහීමේ තීව්‍රතාවය අනුලෝමව සමානුපාතික විය යුතුය.  නොඑසේ නම් නැන්දම්මාගේ මොලය මගින් එම සිද්ධිය ග්‍රහනය කර ගනු ලබන්නේ සාමාන්‍ය අවස්ථාවක් හෙවත් අමාරුවක් හෝ බියක් වීමට අනවශ්‍ය අවස්ථාවක් ලෙසය.

10 comments:

  1. මුල ටික නම් තේරුණා. මේක තමා අවුල :-))))

    //ඒ ඔක්කොටමත් වඩා මං ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි,
    අමාරුවට (හෝ බයට) කෑ ගැහීමේ තීව්‍රතාවය අනුලෝමව සමානුපාතික විය යුතුය. නොඑසේ නම් නැන්දම්මාගේ මොලය මගින් එම සිද්ධිය ග්‍රහනය කර ගනු ලබන්නේ සාමාන්‍ය අවස්ථාවක් හෙවත් අමාරුවක් හෝ බියක් වීමට අනවශ්‍ය අවස්ථාවක් ලෙසය.//

    ReplyDelete
    Replies
    1. //‘බබාට එච්චර අමාරුවක් වෙලත් සිගිති කෑ ගැහුවෙවත් නෑනෙ.//
      අපේ නැන්දම්මා එහෙම කිව්වම තමයි මං ඔය කියන සිද්ධාන්තය ගොඩ නැගුවෙ. මොකද එදා සිද්ධිය එයාට එච්චරම තදට හිතට ගියෙ නෑ මං කෑකෝ ගහල අඩපු නැති නිසා. ඒ විතරක් නෙමෙයි ලමයට අමාරුවක් නං කෑගැසිය යුතුයි වගේ මතයක් මගෙ ඔළුවට දාන්න එයා අපේ මහත්තය පොඩි කාලෙ කර ගත්ත ඇම්බැට්ට වැඩ වලදි කලබල වෙලා කෑගහපු සිද්ධි ලැයිස්තුවක්ම මට කිව්ව. ඒවත් වෙලාවක මං ලියන්නංකො...

      දැං අවුල ලිහෙන්න ඇති මයෙ හිතේ :))

      Delete
  2. අනවශ්‍ය ලෙස කලබල නොවීම නම ඉතාම් හොඳ අගය කලයුතු දෙයක්. නැවත මෙවන් සිදුවීමක් නොවන්නට කටයුතු සිදු වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි ඉවාන්.. :)

      Delete
  3. දරුවෙක්ට අමාරුවක් ඇති උනහම ඒ දුක ගොඩක්ම දන්නේ අම්මා විතරයි නෙහ්.. ඒ නිසා සිඟිති අක්කා කෑ ගහපු එක සාධාරණයි !

    ReplyDelete
    Replies
    1. හෑ.. කොහෙද බොලං මං කෑ ගැහුව කියල තියෙන්නෙ... කෑ නොගහපු එකනෙ අපේ නැන්දම්මට වෙච්ච අවුල. එයා කියන්නෙත් ළමයට කරදරයක් වෙච්ච ගමන් මොක නැතත් කෑ ගහල ඉන්න ඕන කියලනෙ. සුදු දූ හම්බ වෙද්දිවත් කෑ නොගහපු මං මොන දේ වුනත් කෑ ගහයි කියල මට නං හිතෙන්නෙ නෑ..

      Delete
    2. හදිස්සියට පටලැවිලා... අර තිව්‍රතාවය ගැන කියපු නිසා... මම නොමග ගියේ..

      Delete
  4. මේ වගේ වෙලාවට ඉක්මනින් කලබල නොවී ඉන්න තරමට හොදයි කියලයි මට නම් හිතෙන්නේ..

    ReplyDelete
  5. බොහොම පරිස්සමින් සිඟිති.......

    අපේ දුවට ඔය වගේ දෙයක් වුනා පොඩ්ඩක් ලොකුයි එතකොට. මම ඇපල් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා පෙව්වා. එයා ඉක්මණින් බීපු නිසාද දන්නේ නැහැ හිරවෙලා ඇස් උඩ ගිහිල්ලා ,අපි දෙන්නා බය වෙලා ලොකු ජරමරයක් වුනා. ජූසර් එකට දාලා ඇපල් ජූස් කරත් කුඩාම දරුවන්ට දෙන කොට නැවත පෙරන්න. ඇපල් වල ඇති කහට ගතිය නිසා උගුර තුල හිරවෙන්න බලනවා.

    ReplyDelete
  6. හා හා බලාගෙනයි...

    ReplyDelete