Friday, January 17, 2014

එදා වෙච්ච දේ

පාන්දර එක වෙද්දි නිදි මරගාතෙන් ගිහිං මුණකට සෝද ගත්තෙ ලෑස්ති වෙන්න ගන්න.  කිව්ව වගේම අන්දවන්න එන අක්කත් ඒ වෙලාවටම ආව.  මේකප් කිරිල්ල පටන් අරන් ඔන්න ෆොටෝ ගන්න කට්ටිය එනකොට මං ලෑස්තියි.  ගෙදර කටයුතු ෆොටෝ අරගත්තට පස්සෙ පාන්දර පහකුත් ගානට පිටත් වීම.    පාන්දර කළුවරේ ගෙදරින් පිටත් වෙලා ගියෙත් ‍ෆොටෝ ගැහිල්ලටම තමයි.  උදේ අටට පූජාව පටන් ගන්නකං ආයෙ ගන්න වෙන්නේ නැති එකේ දිගට හරහට ෆොටෝ.  හිනාවෙලා කටත් රිදෙනව.  උදේ අට වෙද්දි පූජාව පටන් ගත්තා.  ඔන්න උදේ නමය වෙනකොට පල්ලියෙ කසාදෙ අහවරයි.  පූජාව ඉවර වෙනකං බයේ හිටියෙ හිතාගෙන හිටිය වගේ නමය වෙද්දි මේ වැඩ ටික ඉවර වෙන්නෙ නැති වෙයි කියල.  එතන වැඩ ටික ඉවර වෙච්ච ගමන් දඩි බිඩි ගාල හෝටලේට ගියෙ පෝරුවෙ චාරිත්‍රවලට ලෑස්ති වෙන්න.


අපි යනකොට අන්දවන්න ආපු අක්කත් ඇවිත් බලං ඉන්නව.  ප්ලෑන් කරං හිටිය වගේම ටක් ටක් ගාල ගවුමෙන් ඔසරියට මාරු වුනා.  උදේ හිටපු එකාද කියලත් කට්ටියට මාව දැක්කම හිතෙන්න ඇති.  උදේ පල්ලියෙ පිම්බිච්ච ගවුමකුත් ඇදන් කැරලි කැරලි කොන්ඩෙකුත් එක්ක දිගම දිග වේල් එකක් එක්ක හටන් කරපු මම දැං කොන්ඩ ගෙඩියකුත් බැදල මාල හතත් දාල ඔසරියකට මාරු වෙලා.  පුංචි කාලෙ ඉදන් පල්ලියට පිම්බිච්ච ගවුමක් අදින්න දැකපු හීනෙට මෑතකදි ඔසරියක් ඇදන් පෝරු නගින හීනෙත් එකතු වුනා.  අද ඒ හීන දෙකම එකපාර හැබෑ වෙලා.

 උදේ දහකුත් ගානට තිබුන පෝරුවෙ චාරිත්‍රත් පටන් ගත්ත.  කවදාවත් නොදැන හිටපු ඒ චාරිත්‍රවල තේරුං එක්කම අෂ්ටක කියපු කෙනා හරිම ලස්සනට ඒ වැඩටික කරා.  ඔන්න ඉතිං දෙවනි පාරට පෝරුවෙදිත් කසාද බැදගෙන අපි දෙන්න පෝරුවෙන් බිමට බැස්සා.  මල කෙලියයි...  බහිනකොටම බිදින පොලේ බිදුනෙ නෑ.  මක් කරන්නද. ආපහු අරන් බින්දා.  යන්තං ඒ පාර නං කෑලි යන්න පොලේ බිදුනා.  කට්ටියගෙ මූණුත් හරි නෑ.  මටත් නිකං මොකක්ද වගේ.  අවුලක් නෑ.  ඕව බොරු කියල මං පෙන්නන්කො.  මං හිතාගත්තා.

පහන් පත්තු කරල, කිරිබත් කපල,  යකෙක් කන්න බඩගිනි වෙලාවෙ ජුංඩං කිරිබත් කෑල්ලක් කාල බඩ අවුස්සගෙන, වතුර බූලියක් බොන්න පුළුවන් වෙලාවෙ වාසනාවට මොකෙකුටවත් ලුනු දාන්නවත් බටේ හිල් කරන්නවත් බැරි වෙච්ච ඇබිටිල්ලං වීදුරුවක තිබුන දිව්‍ය ඖසදේ වගේ බීම එකත් බීල ඔන්න ගියා හත්මුතු පරම්පරාවෙම වට වන්දනාවෙ.  ඊට පස්සෙ කෑම වෙලාව.  කෑම ටික නං පංකාදුයි.  වැඩිපුර බෙදා ගන්න බෑ වීඩියෝ කරන එවුවොයි ෆෝටෝ ගහන එවුවොයි රෙකෝඩ් කරනව.  අන්තිමට බඩගින්නෙ ඉදලම බෙදා ගත්ත ටිකවත් කා ගන්න බෑ.

අන්තිමට පිටත් වෙන වෙලාව කිට්ටු කරන් එද්දි අම්මල තාත්තලට වැදල කතා කරල සුභ නැකතින් අපි දෙන්න උත්සවේ තිබුන හෝටලෙන් තව ගමනක් යන්න පිටත් වුනා. :)

ඔය කිව්වෙ හරියටම මීට අවුරුද්දකට කලිං අද වගේ දවසක, ඒ කියන්නෙ 2013 ජනවාරි 17 වැනිදා දවස ගත වෙච්ච විදිය.  ඒ එදා.  අද වෙනකොට අපි දෙන්නා තුන් දෙනෙකුත් වෙලා.  යංතං අනිත් දෙන්නා නිදි අතරෙ මං මේ ටික කොටා ගත්තෙ ඇනිවසරි ස්පෙෂල් එකකුත් පෝස්ට් කරන්නම ඕන නිසා.  සුදු දූ නැගිටින්න ලගයි.  ඒක නිසා තව හැඩ වැඩ නැතුව මේක පෝස්ට් කරන්නම්.