Tuesday, October 15, 2013

මෙහෙමත් දරුවෝ....

අද හිතට ගොඩක් දැනුන සිදුවීමක් වුනා.  ඒ මගේ සේවා ස්ථානයේදී.  රාජ්‍ය බැංකුවක ව්‍යාප්ති කාර්යාලයකට මේ දවස්වල අනුයුක්ත වෙලා ඉන්න මට මේ දවස්වල නිතර මුණ ගැහෙන්නෙ විශ්‍රාමික උදවිය.  මාසෙකට සැරයක් බැංකුවට ඇවිත් පෙන්ෂන් එක අරගෙන පුංචි කතා බහක යෙදිල යන ඒ අයගෙ කතා සමහර වෙලාවට ඇහුවම පුදුම හිතෙනව.  පත්තරෙන් ටීවි එකෙන් ඇහෙන දකින කතා ඒ අය සමහරු හැබෑවටම අත් විදිනව.  ඉතින් අද අහන්න වුනෙත් පුදුම හිතෙන කතාවක්.



අපේ බැංකුවට හැම සැරේම පෙන්ෂන් ගන්න එන කාන්තාවක් ඉන්නව.  ඇය පෙන්ෂන් දිනයට නොවැරදීම ඇවිත් ඒ එන මුදලින් රු.2000ක් විතර පොතේ ඉතුරු කරල අනිත් මුදල් සියල්ලම අරගෙන පිටව යනව.  ආයෙත් දවසකින් දෙකකින් ඇවිත් ඉතුරු මුදලෙනුත් රු.100, 200 ගානෙ අරගෙන සතියක් විතර ඇතුලත පොතේ තියන මුලු මුදලම අරගෙන යනව.  හැමෝම පඩියට හරි පෙන්ෂන් එකට හරි කරන්නෙ මේක නේද කියල දැන් ඔබට හිතෙනව ඇති.  ඇත්ත අපි හැමෝම වගේ එහෙම තමයි.  අපි හැමෝම ඒ ගන්න මුදලින් කරන්නෙ කන්න බොන්න දේවල් මිලදී ගන්න එක, ගෙදර බිල් ටික ගෙවන එක සහ හැකිනම් පුංචි ඉතිරියක් කරන එකනෙ.  ඒත් මේ කාන්තාව ඒ මුදලින් කරන දේවල් ඊට ටිකක් වෙනස්.

අද ඇය බැංකුවට ඇවිත් මුදල් ගත්ත අවස්ථාවේ අපි ඒ ගැන ඇගෙන් ඇහුව.  ඇ‍ගේ පෙන්ෂන් එකෙන් රු.2000 ගානෙ ඇගේ දරුවො තුන් දෙනාට ඇය දීල තිබුන.  ගිය මාසෙ කඩවලින් ගත්ත ණය ගෙවල තිබුන.  ගෙදර තිබුන රේඩියෝ එක කැඩුන නිසා පුංචි රේඩි‍යෝ එකක් අර‍න් තිබුන.  තව රු.1700ක් ඇයට කෑම උයල දුන්න නිසා ඇගේ ලේලියට ගෙවල තිබුන.  තව ඇගේ පොඩිම ලේලියට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා ඒ අයටත් උදව් කරන්න ඕන කියලත් ඇය කිව්ව.

ඇය පිටත්ව ගියාට පස්සේ ඇ‍ය කොහෙද ඉන්නෙ කියල මම මගේ කළමණාකාරතුමාගෙන් ඇහුව.  ඇය ජීවත් වෙන්නෙ අපේ ශාඛාවට ආසන්න ස්ථානයක ඇගේ නිවසේ.  ඒ නිවසේ එක් පැත්තක ඇගේ එක පුතෙක් ජීවත් වෙනව.  අනිත් පැත්තෙ ඇය ජීවත් වෙනව.  ඒ අනිත් පැත්තෙ ජීවත් වෙන ලේලි තමයි ඇයට කෑම උයල දෙන්නෙ.  සමහර දවස්වලට ඒ නිවසේ ඉන්න පුතා ඇයත් සමග බැංකුවට ඇවිත් ඇගේ පොතේ ඉතුරු වෙලා තියන මුදල් සියල්ල ඇය ලවා ලබා ගෙන යනව කියලත් කළමණාකාරතුමා කිවුව.

ඇගේ දියණිය ජීවත් වන්නෙ ඇගේ නිවසෙන් තරමක් දුර ප්‍රදේශයක.  ඒ ප්‍රදේශයේ හොද තත්ත්වයක තියන සිල්ලර කඩයක් ඒ දියණියගේ සැමියට තිබුනත් පෙන්ෂන් එකේ පංගුව අනිවාර්යයෙන්ම ඒ දියණිය ඉල්ලනව.

ඇගේ බාලම පුතා ඉන්නෙ කොරියාවෙ.  වරක් ඔහු ඇයට රු.1000ක් එවල තිබුන.  ඒ මුදලත් ඇයට ඊලග පෙන්ෂන් එකෙන් ගෙවන්න වුනා.  මෙහෙමත් දරු‍වො ඉන්නව ද කියල ඔබ හිතනව ඇති.  මේ කතාව ඇහුවම මටත් හිතුනෙ එහෙමමයි.

ඒ ඔක්කොටම වඩා මේ ඔක්කොම කරන ඒ ලමයි ගැන ඇය කිව්වෙ,
"එයාලටත් වැඩි පඩියක් හම්බ වෙන්නෙ නැතුව ඇතිනෙ මිස්.  අමාරු ඇති මට උදව් කරන්න.  නැත්තං මට නොදී ඉන්නෙ නෑනෙ."

දරුවො මොන දේ කලත් ඒ අම්මගෙ හිතේ දරුවො ගැන තරහක් තිබුනෙ නෑ.  එහෙම අම්මෙකුට ලැබිල ඉන්න මෙහෙමත් දරුවො කියල මට හිතුන.

2 comments:

  1. ළමයි කොච්චර අම්මලාට වෙනස්කම් කලත් අම්මලා අබ ඇටේක හිත් අමනාපකමක් ගන්නේ නෑ. ඒ අම්මලෑ හැටි !

    ReplyDelete
  2. ඔය වගේ කාලකණ්ණි දරුවෝ ඉන්නවා සිඟිති.මගේ ආත්තම්මටයි සීයාටයිත් ඔහොම කලා එයාලගේ දරුවෝ.හැබැයි ඒවා ටිකෙන් ටික උන්දැලම විඳෝනවා.ඔය වගේ මිනිස්සු ජීවිතකාලයම ඔහොම දුක් මිසක් සතුටක් සැපක් නොවිඳම මිය යන තිත්ත ඇත්ත දරාගන්න අමාරුයි.

    ReplyDelete