ඔයා යන්න කැමති මොකේටද? එයා අහනව.
අනේ මන්ද. මට හිතාගන්න බෑ. මං කිව්වෙ ඇත්තටම.
කැම්පස් ගියොත් හොදයි නේද? පස්සෙ හරි රස්සාවකට යන්න පුළුවන්නෙ.
එච්චරයි. මං විස්ස විද්දියාලෙ යන්න තීරණය කරා. ටික දවසකින් ඒකත් පටන් ගන්නව කියල ලියුමක් ලැබිල අගෝස්තු මාසෙ ඉදන් අර එපා කරපු බදුලුකරේට මං පිටත් වුනා.
ඔය අතරෙ නොකියම බැරි සිද්ධි කීපයක් තියනව කියන්න.
වෙන්ඩ හබි කටුබැද්දෙ යද්දි එයාට ජංගම දුකක් තිබුනෙ නෑ. දැං ඉතිං කොහොම මැසේජ් කොටන්නද? ඒකට විසදුමක් විදියට දෙයියො දුන්න වගේ එයත් එක්ක එකට හිටපු යාළුවෙක් ගාව ෆෝන් 2ක් තිබුන. ඉතිං ඒ යාළුවත් අනුකම්පා කරල 1ක් මෙයාට පාවිච්චි කරන්න දුන්න.
හැබැයි ඉතිං දවල්ට ඔය මුකුත් කරන්න බෑ. මොකද ATI එකට ෆෝන් ගෙනයාම සපුරා තහනම්. රෑට තමයි කොටන කෙටිල්ලක්. ඒ දවස්වල ඉන්කමිනුත් විනාඩි 2යි ෆ්‍රී. ඊට පස්සෙ සල්ලි කැපෙනව. හප්පා ඕනෙ නෑ. එහෙම හරි රෑටවත් මැසේජ් කොටන එක ඇන හිටියෙ ෆෝන් එකේ හිමිකාරය ගාව තිබුන ෆෝන් එක ලිදට වට්ට ගත්තට පස්සෙ. දැං ඉතිං කොහෙන්ද ෆෝන්...
ඒ සතියෙ ඒක නිසා මහ රෑ ජාමෙ අම්මල නිදා ගන්නකං ඇහැරං හිටපු මං බයේ ගිඩි ගිඩි ගගා ගිහින් අම්මලගෙ කාමරේට දුරින්ම තියන දුරකථනය වෙච්චි තාත්තගේ තැපැල් කන්තෝරු කාමරේ ටෙලිපෝං එකෙන් වෙන්ඩ හබිට කෝල් ගත්ත. දැං හිතනව ඇති ඇයි මගේ දුකෙන් නොගත්තෙ කියල. ඇයි බොලව් ඒ කාලෙ විනාඩියකට අය කරන්නෙ දැං වගේ නෙවේ ගිනි ගණන්. කාඩ් එක ඉවර වුනාම ආයෙ කාඩ් දාන්න සල්ලි ඉල්ල ගන්න වෙන්නෙත් අම්මගෙන්. ලෙඩ ගොඩක්නෙ.
ඔය සේරම හින්ද රෑට එයා යාළුවෙක්ගෙ ෆෝන් එකකින් මට මැසේජ් කරාම මං කළුවරේ බොහොම සීරුවට කන්තෝරුවට ගිහිං ඒ නොම්මරේට ගන්නව කෝල් එකක්. ඒකත් වෙලාව බලල විනාඩි එක හමාරෙන් කට් කර කර ගන්නෙ. නැත්තං යාළුවගෙ කාඩ් එකට තට්ටු වෙනවනෙ. ඔය කට්ට කකා ඉද්දි තමයි ඉෂ්ට දේවතාවියක් වගේ මගේ යාළුවෙක් වෙච්චි භාග්‍යා නංගි අපේ සහයට ආවෙ. එයාගෙ පරණ ෆෝන් එක සානුකම්පිතව අපිට එයා පරිත්‍යාග කලා. යාංතං රෑට කන්තෝරුවට රිංගන වැඩේට තිත තියන්න ලැබුන. ඊට ටික දවසකට පස්සෙ වෙන්ඩ හබි ෆෝන් එකක් ගන්නකල්ම අපිට සහයට හිටියෙ භාග්‍යාගේ ෆෝන් එක තමයි.
ඔය සිද්ධි අතරෙම තමයි අපේ අක්කට අපි දෙන්නව මාට්ටු වුනෙත්. ඒක නං විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරි සිද්ධියක්.
ඒ දවස්වල රටේ නැති මොකක් හරි බොරුවක් හදාගෙන ගෙදරින් එලියට පැනල වෙන්ඩ හබිව හම්බ වෙන්න යනවනෙ. ඔහොම යද්දි එයා හැමදාම කියන දෙයක් තමයි අපි ගැන අක්කට කියන්න කියන එක. ඒ වුනාට මට හිතට මොකක්ද වගේ අක්කට කියන්න. ඒක නිසා මං ඕක දවසින් දවස කල් දම දමා හිටියෙ. ඔහොම යද්දි දවසක් අපි පේරාදෙණියෙ ගියා. ඔව් ඔව් අර මල් වත්තට තමයි. ඕකත් ලේසි පාසු වැඩක් නෙවී. උදේ රැයෙන්ම ඕකට එන කපල්ස් සමර්හවුස් බංකුවල ඉදගත්තම පරක්කු වුනොත් ඉදගන්න තැනක් නැතුව දවසම අැවිදින්න තමයි වෙන්නෙ. ටික දවසක් ගිහිං පුරුදු වුනාම අපිත් එක සමර්හවුස් එකක බංකුවකට පුරුදු වුනා. හැබැයි සමර්හවුස්වල බංකුවක් අල්ලගත්තට දවසම ඔතන ඉන්න නං කලාවක් තියනව. මොකද ගාඩ්න් එකේ වටේ යන ටික්කො (අපි එයාලට කිව්වෙ එහෙමයි) සමර්හවුස් බෙන්ච්වල ඉන්න කපල්ස් උනත් පන්නනව අසංවරනං. අසංවර නැතත් හැම තිස්සෙම හිටයත් කෑ ගහනව ඔය බෙන්ච් තියෙන්නෙ එන අයට කෑම ගන්න ඉදගන්න කියල.
මෙන්න අපේ සමර්හවුස් එක |
ඔය හේතුව නිසා අපි දෙන්න නං කරන්නෙ උදේ ගාඩ්න් එක ඇතුලට යද්දි කෑම ගොඩක් ගෙනිහින් දවස තිස්සෙම කන එක. ටික්කො එන ඕන වෙලාවක අපි දෙන්න අතේ කෑමක්. කොහොමද ටිකිරි මොලේ... ;)
ඉතිං ඔහොම ගාඩ්න් එකේ ඉන්න දවසක අපි සමර්හවුස් එකේ බෑග් තියල ටික වෙලාවක් අර ලොකු ගහ තියන පිට්ටනියෙ තණකොල ගොල්ලට ගියා ඉදගන්න. එදා පොඩි ලමයි රොත්තක් එක්ක කට්ටියක් ට්‍රිප් එකක් ඇවිත් හැමතැනම ඉදගෙන කෑම කනව. මගේ ජංගම දුකයි පුංචි පර්ස් එකයි එයා සාක්කුවෙ දාගෙන අපේ බෑග් එතනම තියල ගියේ එයාලට ඉඩ දෙන්න. ඔහොම ගිහිං ටික වෙලාවක් පිට්ටනියෙ ඉදගෙන ඉදල අපි ආපහු කට්ටිය කාල ගියාට පස්සෙ සමර්හවුස් එකට ආව.
ඔහොම එදා දවස පේරාදෙණියෙ ඉදල වෙනද යන වෙලාවටම වගේ අපි දෙන්නත් ගෙදර යන්න පිටත් වුනා. ගෙදර ගිහින් ඔන්න මම ෆෝන් එක අරගෙන ගෙදර ආව කියන්න මිස් කෝල් එකක් ගහන්න හදද්දි කෝල් ලිස්ට් එකේ අපේ අක්කගෙන් ආව කෝල් එකක් තියනව. වෙලාව බැලුව. දවල් තමයි ඇවිත් තියෙන්නෙ. විනාඩි ගානක කෝල් එකක්...
වැඩේ හිතාගන්න පුළුවන්නෙ. අපි පිට්ටනියෙ ඉදගෙන ඉන්න වෙලාවෙ අක්ක රින්ග් කරල. වෙන්ඩ හබිගෙ සාක්කුවෙ තිබ්බ ෆෝන් එක දන්නෙම නැතුව එබිල කෝල් එක ආන්සර් වෙලා. අපේ අක්ක විනාඩි දෙක තුනක් කන දී ගෙන ඉදල වැඩේ තේරුනාම කට් කරල නිකං ඉදල. හපොයි....
ඒ සතියෙ අක්ක ගෙදර ආවම ඒක නිසා අක්කට විස්තරේ අනිවාර්යයෙන්ම කියන්න වුනා. ප්‍රතිචාරය මොකක් වෙන්න ඇති කියලද හිතන්නෙ?
එයා කිව්වෙ
හ්ම්ම්... මට තේරිච්ච වෙලාවෙ දුක හිතුනා. ඇයි මට තමුසෙ කිව්වෙ නැත්තෙ කියල. ඒ වුනාට මං පස්සෙ සතුටු වුනා. ඒකා හොද කොල්ලා. ඔයා බෑ කිව්ව කියපු දවසෙ ඇත්තටම මට දුක හිතුන. මං හිතුවෙ තමුසෙ හා කියාවි කියල.
(කියන්න බැරි වුනා. මං අර ඉස්සෙල්ලම පන්සල් ගියපු දවසෙ ඇවිත් අක්කට කිව්වෙ බෑ කිව්ව කියල)
ඔන්න අපේ අක්ක. සුපිරිම තමයි. එයා නොහිටින්න මං අද මෙතන නෑ.
අතුරු කතා ලියන්න ගිහිං අද කතාව දික් වුනා. තවත් කොටසක් එක්ක ආයෙත් හමුවෙමු...