Saturday, December 7, 2013

සිඟිතිගේ ආදරේ - 5 කොටස

අපේ විවිධාකාර පන්තිවලට තිත වැටුනෙ දෙන්නගෙම අධ්‍යාපන කටයුතු හින්ද.  2007 මැයි මාසෙ වෙද්දි කටුබැද්ද ආධුනිකත්ව තාක්ෂණ ආයතනයේ ඉලෙක්ට්‍රොනික විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවට මගේ වෙන්ඩ හබි (ඒ කාලෙ) පිටත් වුනා.  ඒ වෙනකොට විස්ස විද්දියාලෙ යන්න තේරිලා හිටපු මට රාජ්‍ය බැංකුවකට සම්මුඛ පරීක්ෂණයට නියමිත දිනය දන්වල ලිපියකුත් ලැබුන.  දැං මං සේවය කරන්නෙත් ඕකෙම තමයි.  මොකක් කරන්නද හිතාගන්න බැරි තත්ත්වෙකට තමයි පත් වුනේ.  අම්මගෙ හීනෙ විස්ස විද්දියාලෙ.  තාත්ත නොකිය කියනව බැංකුවට යන්න කියල.  සුදු අම්මත් අහන්නෙ බැංකුවට ගියොත් හොදයි නේද කියල.  මං ඔය අන්ත දෙක අතර අතරමං වෙලා.  සති අන්තෙ එයා නිවාඩුවට ආවම මොන මොනවහරි ගෙදරට කියල එලියට පැන ගත්ත.  ගිහිං හම්බවෙලා ඇහුවා මොකද දැං මං කරන්නෙ කියල.

ඔයා යන්න කැමති මොකේටද?  එයා අහනව.
අනේ මන්ද.  මට හිතාගන්න බෑ.  මං කිව්වෙ ඇත්තටම.
කැම්පස් ගියොත් හොදයි නේද? පස්සෙ හරි රස්සාවකට යන්න පුළුවන්නෙ.

එච්චරයි.  මං විස්ස විද්දියාලෙ යන්න තීරණය කරා.  ටික දවසකින් ඒකත් පටන් ගන්නව කියල ලියුමක් ලැබිල අගෝස්තු මාසෙ ඉදන් අර එපා කරපු බදුලුකරේට මං පිටත් වුනා.

ඔය අතරෙ නොකියම බැරි සිද්ධි කීපයක් තියනව කියන්න.

වෙන්ඩ හබි කටුබැද්දෙ යද්දි එයාට ජංගම දුකක් තිබුනෙ නෑ.  දැං ඉතිං කොහොම මැසේජ් කොටන්නද?  ඒකට විසදුමක් විදියට දෙයියො දුන්න වගේ එයත් එක්ක එකට හිටපු යාළුවෙක් ගාව ෆෝන් 2ක් තිබුන.  ඉතිං ඒ යාළුවත් අනුකම්පා කරල 1ක් මෙයාට පාවිච්චි කරන්න දුන්න.

හැබැයි ඉතිං දවල්ට ඔය මුකුත් කරන්න බෑ.  මොකද ATI එකට ෆෝන් ගෙනයාම සපුරා තහනම්.  රෑට තමයි කොටන කෙටිල්ලක්.  ඒ දවස්වල ඉන්කමිනුත් විනාඩි 2යි ෆ්‍රී.  ඊට පස්සෙ සල්ලි කැපෙනව.  හප්පා ඕනෙ නෑ.  එහෙම හරි රෑටවත් මැසේජ් කොටන එක ඇන හිටියෙ ෆෝන් එකේ හිමිකාරය ගාව තිබුන ෆෝන් එක ලිදට වට්ට ගත්තට පස්සෙ.  දැං ඉතිං කොහෙන්ද ෆෝන්...

ඒ සතියෙ ඒක නිසා මහ රෑ ජාමෙ අම්මල නිදා ගන්නකං ඇහැරං හිටපු මං බයේ ගිඩි ගිඩි ගගා ගිහින් අම්මලගෙ කාමරේට දුරින්ම තියන දුරකථනය වෙච්චි තාත්තගේ තැපැල් කන්තෝරු කාමරේ ටෙලිපෝං එකෙන් වෙන්ඩ හබිට කෝල් ගත්ත.  දැං හිතනව ඇති ඇයි මගේ දුකෙන් නොගත්තෙ කියල.  ඇයි බොලව් ඒ කාලෙ විනාඩියකට අය කරන්නෙ දැං වගේ නෙවේ ගිනි ගණන්.  කාඩ් එක ඉවර වුනාම ආයෙ කාඩ් දාන්න සල්ලි ඉල්ල ගන්න වෙන්නෙත් අම්මගෙන්.  ලෙඩ ගොඩක්නෙ.

ඔය සේරම හින්ද රෑට එයා යාළුවෙක්ගෙ ෆෝන් එකකින් මට මැසේජ් කරාම මං කළුවරේ බොහොම සීරුවට කන්තෝරුවට ගිහිං ඒ නොම්මරේට ගන්නව කෝල් එකක්.  ඒකත් වෙලාව බලල විනාඩි එක හමාරෙන් කට් කර කර ගන්නෙ.  නැත්තං යාළුවගෙ කාඩ් එකට තට්ටු වෙනවනෙ.  ඔය කට්ට කකා ඉද්දි තමයි ඉෂ්ට දේවතාවියක් වගේ මගේ යාළුවෙක් වෙච්චි භාග්‍යා නංගි අපේ සහයට ආවෙ.  එයාගෙ පරණ ෆෝන් එක සානුකම්පිතව අපිට එයා පරිත්‍යාග කලා.  යාංතං රෑට කන්තෝරුවට රිංගන වැඩේට තිත තියන්න ලැබුන.  ඊට ටික දවසකට පස්සෙ වෙන්ඩ හබි ෆෝන් එකක් ගන්නකල්ම අපිට සහයට හිටියෙ භාග්‍යාගේ ෆෝන් එක තමයි.

ඔය සිද්ධි අතරෙම තමයි අපේ අක්කට අපි දෙන්නව මාට්ටු වුනෙත්.  ඒක නං විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරි සිද්ධියක්.

ඒ දවස්වල රටේ නැති මොකක් හරි බොරුවක් හදාගෙන ගෙදරින් එලියට පැනල වෙන්ඩ හබිව හම්බ වෙන්න යනවනෙ.  ඔහොම යද්දි එයා හැමදාම කියන දෙයක් තමයි අපි ගැන අක්කට කියන්න කියන එක.  ඒ වුනාට මට හිතට මොකක්ද වගේ අක්කට කියන්න.  ඒක නිසා මං ඕක දවසින් දවස කල් දම දමා හිටියෙ.  ඔහොම යද්දි දවසක් අපි පේරාදෙණියෙ ගියා.  ඔව් ඔව් අර මල් වත්තට තමයි.  ඕකත් ලේසි පාසු වැඩක් නෙවී.  උදේ රැයෙන්ම ඕකට එන කපල්ස් සමර්හවුස් බංකුවල ඉදගත්තම පරක්කු වුනොත් ඉදගන්න තැනක් නැතුව දවසම අැවිදින්න තමයි වෙන්නෙ.  ටික දවසක් ගිහිං පුරුදු වුනාම අපිත් එක සමර්හවුස් එකක බංකුවකට පුරුදු වුනා.  හැබැයි සමර්හවුස්වල බංකුවක් අල්ලගත්තට දවසම ඔතන ඉන්න නං කලාවක් තියනව.  මොකද ගාඩ්න් එකේ වටේ යන ටික්කො (අපි එයාලට කිව්වෙ එහෙමයි) සමර්හවුස් බෙන්ච්වල ඉන්න කපල්ස් උනත් පන්නනව අසංවරනං.  අසංවර නැතත් හැම තිස්සෙම හිටයත් කෑ ගහනව ඔය බෙන්ච් තියෙන්නෙ එන අයට කෑම ගන්න ඉදගන්න කියල.

http://i.cdn.turner.com/ireport/sm/prod/2008/04/23/WE00013833/83900/Anon1208946384-TheSummerHouse815120_lg.jpg
මෙන්න අපේ සමර්හවුස් එක


ඔය හේතුව නිසා අපි දෙන්න නං කරන්නෙ උදේ ගාඩ්න් එක ඇතුලට යද්දි කෑම ගොඩක් ගෙනිහින් දවස තිස්සෙම කන එක.  ටික්කො එන ඕන වෙලාවක අපි දෙන්න අතේ කෑමක්.  කොහොමද ටිකිරි මොලේ... ;)

ඉතිං ඔහොම ගාඩ්න් එකේ ඉන්න දවසක අපි සමර්හවුස් එකේ බෑග් තියල ටික වෙලාවක් අර ලොකු ගහ තියන පිට්ටනියෙ තණකොල ගොල්ලට ගියා ඉදගන්න.  එදා පොඩි ලමයි රොත්තක් එක්ක කට්ටියක් ට්‍රිප් එකක් ඇවිත් හැමතැනම ඉදගෙන කෑම කනව. මගේ ජංගම දුකයි පුංචි පර්ස් එකයි එයා සාක්කුවෙ දාගෙන අපේ බෑග් එතනම තියල ගියේ එයාලට ඉඩ දෙන්න.  ඔහොම ගිහිං ටික වෙලාවක් පිට්ටනියෙ ඉදගෙන ඉදල අපි ආපහු කට්ටිය කාල ගියාට පස්සෙ සමර්හවුස් එකට ආව.



ඔහොම එදා දවස පේරාදෙණියෙ ඉදල වෙනද යන වෙලාවටම වගේ අපි දෙන්නත් ගෙදර යන්න පිටත් වුනා.  ගෙදර ගිහින් ඔන්න මම ෆෝන් එක අරගෙන ගෙදර ආව කියන්න මිස් කෝල් එකක් ගහන්න හදද්දි කෝල් ලිස්ට් එකේ අපේ අක්කගෙන් ආව කෝල් එකක් තියනව.  වෙලාව බැලුව.  දවල් තමයි ඇවිත් තියෙන්නෙ.  විනාඩි ගානක කෝල් එකක්...

වැඩේ හිතාගන්න පුළුවන්නෙ.  අපි පිට්ටනියෙ ඉදගෙන ඉන්න වෙලාවෙ අක්ක රින්ග් කරල.  වෙන්ඩ හබිගෙ සාක්කුවෙ තිබ්බ ෆෝන් එක දන්නෙම නැතුව එබිල කෝල් එක ආන්සර් වෙලා.  අපේ අක්ක විනාඩි දෙක තුනක් කන දී ගෙන ඉදල වැඩේ තේරුනාම කට් කරල නිකං ඉදල.  හපොයි....

ඒ සතියෙ අක්ක ගෙදර ආවම ඒක නිසා අක්කට විස්තරේ අනිවාර්යයෙන්ම කියන්න වුනා.  ප්‍රතිචාරය මොකක් වෙන්න ඇති කියලද හිතන්නෙ?
එයා කිව්වෙ
හ්ම්ම්...  මට තේරිච්ච වෙලාවෙ දුක හිතුනා.  ඇයි මට තමුසෙ කිව්වෙ නැත්තෙ කියල.  ඒ වුනාට මං පස්සෙ සතුටු වුනා.  ඒකා හොද කොල්ලා.  ඔයා බෑ කිව්ව කියපු දවසෙ ඇත්තටම මට දුක හිතුන.  මං හිතුවෙ තමුසෙ හා කියාවි කියල.
(කියන්න බැරි වුනා.  මං අර ඉස්සෙල්ලම පන්සල් ගියපු දවසෙ ඇවිත් අක්කට කිව්වෙ බෑ කිව්ව කියල)

ඔන්න අපේ අක්ක.  සුපිරිම තමයි.  එයා නොහිටින්න මං අද මෙතන නෑ.

අතුරු කතා ලියන්න ගිහිං අද කතාව දික් වුනා.  තවත් කොටසක් එක්ක ආයෙත් හමුවෙමු...

Tuesday, December 3, 2013

නෑමේ හොදම කොටස සහ නරකම කොටස

මේ දවස් ටිකේම අයියයි, අක්කයි ගෙදර.  මං හිතන්නෙ එයාලට වැඩිපුර නිවාඩු හම්බ වෙලාද කොහෙද.  කොහොම හරි අයිය නං ගෙදර ඉන්නවට මං හරී....ම කැමතියි.  එයා එතකොට මාත් එක්ක සෙල්ලං කරනවනෙ.  ආ... ඔය කියනකොටම එන්නෙ.  අක්කටත් මං කැමතියි.  ඒත් මේ දවස්වල එයත් එක්ක සෙල්ලං කරන්න බෑ.  එයාගෙ ගාවින් තව පරාණෙක සුවදයි සද්දෙයි දැනෙනව.  එතකොට ඉතිං අපි වුනත් පොඩ්ඩක් පරිස්සමින් එයත් එක්ක ඉන්න එපෑ.


http://www.wspa.ca/Images/stray_dog_2_350_tcm22-1452.jpg

අයියයි අක්කයි නං නාන්න යන්න වගේ.  මං නං යන්නෙ නෑ ඔය පැත්තට.  ඔය වතුර ඇගේ ගා ගන්න එක මහ එපාම කරපු දෙයක්.  දෙන්න නාල එනකං මං චුට්ටක් නිදා ගන්නව.

අනේ මේ අක්කටත් ඕන නැති එකක් නෑනෙ.  ඒ පාර අයියට කියනව මාව නාවන්නලු.  අයියගෙ තුන් හිතකවත් තිබුනෙ නෑ මාව නාවන්න.  දැං අක්ක කියපු නිසා එයත් මාව නාවන්න හදනව.   මට බෑ මට බෑ මට බෑමයි.  මගේ මේ කකුලත් රිදෙනව.  මේ බලන්නකො.  අනේ මං චුට්ටක් නිදා ගන්නං.  ඒ පාර දංවැල උස්සන් එන්නෙ මොකටද මං අහන්නෙ.  මං නං ඔන්න නාන්නෙ නෑ.  නාන්න ඕන කියපු කෙනාව නාවන්නකො.  මාව අල්ලගන්නෙ මෙතන.   අයියෝ මට දංවැල් දාන්න එපා.  මට බැරියෝ..........

දැං ඉතිං ඔළුවටත් එක්ක හලයි අර සීතල වතුර.  ඉන්නවකො මං අක්කට හොද පාඩමක් උගන්නනව මට මේ කරපු දේට.  හ....පෝ..........යි.......  සීතලා........යි.  හරි හරි දැං ඇති ඔය වතුර දැම්මා.  මගේ ඇගේ කුණුත් නෑ.  ආං හරි.  දැං නං මං ආස වැඩක්.  අයිය සබන් ගාලා මාව අතුල්ලන්නයි යන්නෙ.  ඒ වැඩේ හරිම සැප වැඩක්.  අයියත් දන්නව මං ඒකට කැමති කියල.  ඒක නිසා අර අනිත් නකුට්ටව වගේ නෙමේ මාව ටිකක් වැඩිපුර සබන් ගාල එයා අතුල්ලනව.  හප්පා.... තියන ස...නී....පේ.....

අයියෝ ඉතිං ආයෙත් අර ජරා සීතල වතුර.  ඉක්මණට අනේ....... ඇති දැං.....  හැටි විතරක්.  හිනා වෙවී ඉන්නව මෙතන මාව නාවන්න දාල.  ඉන්නකො මං ආයෙ මූණ බලන්නෙ නෑ.  හරි හරි දැං ඇති.

එන්න එන්න අයියෙ දැං මාව පිහින්න.  නාල තණකොල ගොල්ලෙ දිගා වෙලා අයියත් එක්ක ඇග පිහිදව ගන්න එක හරි සනීප වැඩක්.  නියමා......යි.  අරූ දැං ඉරිසියාවෙ නහින්න හදනව.  මං තව ටිකක් සෙල්ලං කරනව.  චහ්... තියන සනීපයක්.  ආ හරි... දැං හරි.  ඔන්න යන්තං නාලත් ඉවරයි.  එන්නකො අයියෙ තව ටිකක් සෙල්ලං කරමුකො.  අරූ ඉරිසියාවෙ බුරලම පණ යයි දැං.  හි හි....  නානව කියන එකත් ජොලි වැඩක් අර වතුර දාන කෑල්ල නැත්තං..
http://assets.nydailynews.com/polopoly_fs/1.1320792.1366313472!/img/httpImage/image.jpg_gen/derivatives/gallery_635/comfort-dogs-boston.jpg

මේ අපේ ගෙදර ඉන්න බල්ලො දෙන්නගෙන් වැඩිම පිස්සුවක් තියන සංජුව නාවන්න ගියාම ඒකා කරන වැඩ දැකල ඒකට හිතෙනව ඇත්තෙ මෙහෙමයි කියල මට හිතිච්ච ටිකක්.  බල්ලො පූසො කරන වැඩ දිහා ටිකක් බලං හිටියම උන් හිතනව ඇත්තෙ මෙහෙමයි කියල කල්පනා කරන එකත් හරිම ජොලි වැඩක්. නිකමට වගේ කරල බලන්නකො.

ආදර කතාවට මදකට විරාමයක් තියල අද ටිකක් වෙනස් දෙයක් ලියන්න හිතුව.  ආදර කතාවේ පාඨක සැම මාත් එක්ක අමනාප වෙන්න එපා.  ඊලග කොටස ඉක්මණටම ලියනවා හොදේ...